ගිනිගත්හේන ප්‍රදේශයේ ප්‍රධාන පාසලක 11 වසරේ අධ්‍යාපනය ලබන පාසල් සිසුවියක් අවස්ථා කිහිපයකදී ලිංගික අතවරයට ලක් කිරීමේ චෝදනා මත තරුණයන් දෙදෙනෙකු සහ ඊට අනුබල දුන්නේ යැයි සැකකෙරෙන තවත් අයෙකු ඇතුළු තිදෙනෙකු පසුගිය 18 වැනිදා අත්අඩංගුවට ගෙන ඇතැයි ගිනිගත්හේන පොලිසිය පවසයි. මෙම තරුණයන් තිදෙනා අත්අඩංගුවට ගනු ලැබුවේ ගිනිගත්හේන පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක විරාජ් විතානගේ මහතාගේ උපදෙස් මතය.
පොලිස් පරීක්ෂණවලින් අනාවරණය වී ඇත්තේ, මෙම සිසුවිය ගිනිගත්හේන, ගෝණවල ප්‍රදේශයේ තරුණයකු සමඟ ප්‍රේම සම්බන්ධතාවක් පවත්වාගෙන ගොස් ඇති බවයි. ඇය සිය පෙම්වතා හමුවීමට ගිය අවස්ථාවක, ඔහු විසින් ඇයව මිතුරෙකුගේ නිවසකට කැඳවාගෙන ගොස් තිබේ. එහිදී පෙම්වතා සහ ඔහුගේ මිතුරා එක්ව තමාට බලහත්කාරයෙන් ලිංගික අතවර කළ බව සිසුවිය ගිනිගත්හේන පොලිසියට පාපොච්චාරණය කර ඇත. ඇයගේ ප්‍රකාශය අනුව, මෙම අතවර කිරීම් අවස්ථා කිහිපයකදී සිදුවී ඇති බවද පොලිසිය සඳහන් කරයි.
සිසුවිය ඇගේ මිත්තණිය භාරයේ සිටින අතර, ජනවාරි මස 17 වැනිදා උදෑසන නිවසින් පිටව ගොස් රාත්‍රියේ පසුවී නැවත නිවසට පැමිණීම සම්බන්ධයෙන් මිත්තණියට සැක සිදුවී ඇත. ඒ පිළිබඳව ඇය ගිනිගත්හේන පොලිසියට පැමිණිල්ලක් කර තිබේ. ඒ අනුව පොලිසිය සිසුවිය කැඳවා කළ ප්‍රශ්න කිරීම් වලදී, ඇය අවස්ථා කිහිපයකදී ලිංගික අතවරයට ලක්ව ඇති බවට තොරතුරු අනාවරණය වී තිබේ. වැඩිදුර වෛද්‍ය පරීක්ෂණයක් සඳහා සිසුවිය නාවලපිටිය දිස්ත්‍රික් මහ රෝහලේ අධිකරණ වෛද්‍යවරයා වෙත යොමු කර ඇති බවද ස්ථානාධිපතිවරයා වැඩිදුරටත් කියා සිටියේය.
අත්අඩංගුවට ගත් සැකකරුවන් තිදෙනාම වයස අවුරුදු 16-17ත් අතර වයස් කාණ්ඩවල පසුවන්නන් බව පොලිසිය පවසයි. ඔවුන් අද (19) දින හැටන් මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත බව ද ගිනිගත්හේන පොලිසිය සඳහන් කළේය.
