ශ්‍රී ලංකාවේ වසර 40ක විදේශ රැකියා ඉතිහාසය තුළ වාර්තා වූ ඉහළම විගමනික ප්‍රේෂණ ප්‍රමාණය 2025 වසරේදී ලැබී ඇති බව ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය (SLBFE) නිවේදනය කරයි. මෙම කාලය තුළදී මෙරටට ඇමරිකානු ඩොලර් බිලියන 8.07 ක අතිවිශාල ප්‍රේෂණ ප්‍රමාණයක් ලැබී තිබේ.
කාර්යාංශය වැඩිදුරටත් සඳහන් කරන්නේ, පසුගිය වසරේ ජනවාරි සිට දෙසැම්බර් දක්වා කාලය තුළ, විගමනික ශ්‍රමිකයන්ගෙන් ඇමරිකානු ඩොලර් මිලියන 8076 ක් (ඩොලර් බිලියන 8.07 ක්) ශ්‍රී ලංකාවට ලැබී ඇති බවයි. මෙය දේශීය මුදලින් රුපියල් බිලියන 2432 ක අගයකි. 2024 වසරේදී මෙරටට ලැබුණු ඇමරිකානු ඩොලර් මිලියන 6575 ක ප්‍රේෂණ ප්‍රමාණය හා සැසඳීමේදී මෙය සියයට 22.8 ක කැපී පෙනෙන වර්ධනයක් පෙන්නුම් කරයි.
තවද, පසුගිය දෙසැම්බර් මාසය තුළ එක් මාසයකට වාර්තා වූ ඉහළම විගමනික ප්‍රේෂණ ප්‍රමාණය වාර්තා වී ඇති අතර, එම අගය ඇමරිකානු ඩොලර් මිලියන 879.1 කි.
මෙම වාර්තාගත වර්ධනය සඳහා වත්මන් රජය ගත් ප්‍රතිපත්තිමය තීරණ සහ ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය විසින් ගුණාත්මක පුහුණු ශ්‍රමිකයන් විදේශගත කිරීම සඳහා ක්‍රියාත්මක කළ වැඩසටහන් හේතු වී ඇති බව සඳහන් වේ. එහි ප්‍රතිඵලයක් ලෙස, පසුගිය වසරේදී ශ්‍රී ලාංකිකයන් 310,000 කට අධික පිරිසක් විදේශ රැකියා සඳහා පිටත්ව ගොස් තිබේ.