‘දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් හටගත් ආපදා තත්ත්වය පාලනය කරගැනීමට අවශ්‍ය විධිවිධාන යෙදීමට අපොහොසත් වීම තුළින් රජය ජනතාවගේ මූලික අයිතිවාසිකම් උල්ලංඝනය කර ඇති බවට චෝදනා කරමින් ගොනුකර තිබූ පෙත්සමක් සලකා බැලූ ශ්‍රේෂ්ඨාධිකරණය, ඒ සම්බන්ධයෙන් කරුණු දැක්වීම සඳහා ජූලි මස 15 වැනිදා අධිකරණය හමුවේ පෙනී සිටින ලෙස අමාත්‍ය මණ්ඩලයට සහ ආපදා කළමනාකරණ කමිටුවට ඊයේ (16) නියෝග කළේය.
ජනාධිපතිවරයා සහ අග්‍රාමාත්‍යවරිය ප්‍රමුඛ වත්මන් රජය මෙම ස්වභාවික විපත හමුවේ නිසි පූර්ව සූදානමකින් කටයුතු කළේ නම් සිදුවූ හානිය අවම කර ගැනීමට හැකියාව තිබූ බව පෙන්වා දෙන පෙත්සම්කරු, වගඋත්තරකරුවන්ගේ අක්‍රීය සහ නොසැලකිලිමත් පිළිවෙත හේතුවෙන් තමන් ඇතුළු ජනතාවගේ මූලික අයිතිවාසිකම් කඩවී ඇති බවට තීන්දුවක් ලබාදෙන ලෙස අධිකරණයෙන් ඉල්ලා සිටියි.
විශේෂයෙන්ම කොත්මලේ ජලාශයේ වාන් දොරටු විවෘත කිරීමට පෙර ඒ පිළිබඳව මහජනතාව දැනුවත් කිරීමට බලධාරීන් පියවර ගත්තේ නම් මහනුවර, පේරාදෙණිය, ගලහ සහ ගම්පොල වැනි ප්‍රදේශවල ජල ගැලීම් නිසා සිදුවූ මහා විනාශය පාලනය කර ගැනීමට අවස්ථාව තිබූ බවත් වගඋත්තරකරුවන් රාජකාරිය පැහැර හැරීම නිසා මෙම විනාශය උග්‍ර වූ බවත් පෙත්සමේ වැඩිදුරටත් සඳහන් කර ඇත.
මහනුවර ප්‍රදේශයේ නීතිඥවරයකු වන කීර්ති බණ්ඩාර කිරිදෙන මහතා විසින් ගොනුකර ඇති මෙම පෙත්සම මගින්, මහනුවර අධිකරණ සංකීර්ණය අසල පිහිටි තම කාර්යාලය ජලයෙන් යටවීම නිසා පරිගණක දත්ත ඇතුළු දේපළ විනාශ වී සිය වෘත්තීය කටයුතුවලට විශාල පාඩුවක් සිදුවූ බව ද පෙන්වා දී තිබේ.
අගවිනිසුරු ප්‍රීති පද්මන් සූරසේන සහ ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු අචල වෙන්ගප්පුලි යන මහත්වරුන්ගෙන් සමන්විත විනිසුරු මඩුල්ල හමුවේ මෙම පෙත්සම කැඳවූ අවස්ථාවේදී අදාළ නියෝගය නිකුත් කෙරුණු අතර, පෙත්සම්කරු වෙනුවෙන් ජනාධිපති නීතිඥ උපුල් ජයසූරිය මහතා ද වගඋත්තරකරුවන් වෙනුවෙන් ජ්‍යෙෂ්ඨ රජයේ නීතිඥ සබ්‍රිනා අහමඩ් මහත්මිය ද පෙනී සිටියහ.
