පොලිස් පරීක්ෂක ශ්‍රේණියේ ක්‍රීඩා නිල ඇඳුමකට සමාන ඇඳුමකින් සැරසී, ගිනි අවියක් ද අතැතිව පිටකොටුව ප්‍රදේශයේ ලැගුම්හලක් ආසන්නයේ සැකකටයුතු ලෙස රැඳී සිටි කාන්තාවක් පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ. අදාළ කාන්තාව අධිකරණය වෙත ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ලබන 23 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට නියෝග කෙරුණි.
කොළඹ මධ්‍යම කොට්ඨාස අපරාධ විමර්ශන ඒකකයේ නිලධාරීන්ට ලද තොරතුරක් මත ඊයේ (16) දිනයේදී මෙම වැටලීම සිදුකර ඇත. අත්අඩංගුවට ගන්නා අවස්ථාවේදී ඇය පොලිස් පරීක්ෂකවරියක ලෙස පෙනී සිටිමින් ඉණේ පිස්තෝලයක් රඳවාගෙන සිට ඇති අතර, පසුව සිදුකළ විමර්ශනවලදී ඇය පොලිස් නිලධාරිනියක නොවන බවත් ඇය සතුව තිබූ ගිනි අවිය ලී උපයෝගී කරගෙන සකසන ලද ව්‍යාජ එකක් බවත් තහවුරු වී ඇත.
පොලිස් නිලධාරීන් විසින් ඇයගේ අනන්‍යතාවය තහවුරු කරගැනීම සඳහා ප්‍රශ්න කිරීමේදී, තම ජාතික හැඳුනුම්පත සහ රියදුරු බලපත්‍රය අස්ථානගත වී ඇති බව පවසා ඊට අදාළව පේරාදෙණිය පොලිසිය වෙත දැමූ පැමිණිල්ලක රිසිට් පතක් ඉදිරිපත් කිරීමට ඇය කටයුතු කර තිබේ. එසේ වුවද නිලධාරීන් විසින් සිදුකළ වැඩිදුර පරීක්ෂා කිරීමේදී ඇය සන්තකයේ තිබී ජාතික හැඳුනුම්පත සොයා ගැනීමට හැකි වී තිබේ.
සැකකාරියගෙන් සිදුකළ දීර්ඝ ප්‍රශ්න කිරීම් හමුවේ හෙළිවී ඇත්තේ, විදේශ රැකියා ලබාදෙන බව පවසා විවිධ පුද්ගලයින්ගෙන් මුදල් ලබාගෙන කුරුණෑගල ප්‍රදේශයේ විදේශ රැකියා නියෝජිත ආයතනයකට ලබා දී ඇති බවයි. අදාළ පුද්ගලයින් විදෙස්ගත කිරීමට නොහැකි වීම හේතුවෙන් ඔවුන්ගෙන් එල්ල වූ තර්ජන මගහරවා ගැනීම සඳහා ඇය මෙලෙස කොළඹට පැමිණ රෙදිපිළි වෙළඳාමේ නිරත වෙමින් සැඟවී සිට ඇති බව අනාවරණය වී ඇත.
කෙසේ වෙතත්, ව්‍යාජ පොලිස් නිල ඇඳුමක් සහ ව්‍යාජ ගිනි අවියක් භාවිතා කරමින් ඇය යම් කිසි අපරාධයක් සිදුකිරීමට සැලසුම් කළේ ද යන්න පිළිබඳව මතු වූ සැකය මත පොලිසිය විසින් ඇයව අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කිරීමට පියවර ගෙන ඇත.
