අභිමානවත් 78 වන ජාතික නිදහස් දින සැමරුම් උත්සවය 2026 පෙබරවාරි 04 වන දින කොළඹ නිදහස් චතුරශ්‍ර පරිශ්‍රයේදී අතිඋත්කර්ෂවත් අයුරින් පැවැත්වීමට මේ වන විට සියලු කටයුතු සූදානම් කර තිබේ. මෙම උත්සවයට සමගාමීව පැවැත්වෙන පෙරහුරු වැඩසටහන් සහ ප්‍රධාන උත්සව දිනය මූලික කරගනිමින් කොළඹ ප්‍රදේශයේ රථවාහන ගමනාගමනය සීමා කිරීම සහ විකල්ප මාර්ග භාවිතය පිළිබඳ විශේෂ රථවාහන සැලැස්මක් පොලිස් මාධ්‍ය කොට්ඨාසය මගින් ප්‍රකාශයට පත් කර ඇත.
මෙම රථවාහන සැලැස්මට අනුව 2026 ජනවාරි 30, 31 සහ පෙබරවාරි 02 යන දිනයන්හි පෙරහුරු පුහුණුවීම් කටයුතු වෙනුවෙන් පෙරවරු 07.45 සිට පස්වරු 01.30 දක්වාත්, පූර්ණ පෙරහුරුව පැවැත්වෙන පෙබරවාරි 01 වන දින පෙරවරු 05.00 සිට පස්වරු 01.30 දක්වාත් අදාළ මාර්ගවල රථවාහන ගමනාගමනය සීමා කෙරේ. එමෙන්ම ජාතික නිදහස් දින උත්සවය පැවැත්වෙන පෙබරවාරි 04 වන දින පෙරවරු 05.00 සිට උත්සව කටයුතු අවසන් වන තෙක් අවස්ථානුකූලව මෙම මාර්ග සීමාවන් ක්‍රියාත්මක වනු ඇත.
පෙරහුරු පැවැත්වෙන කාලසීමාවන් තුළ නිදහස් වටරවුම දෙසින් නිදහස් මාවතට ඇතුළුවීම, ස්ටැන්ලි විජේසුන්දර මාවත ඔස්සේ පදනම් ආයතනය දෙසට ගමන් කිරීම සහ බෞද්ධාලෝක මාවතේ ටොරින්ටන් හන්දියෙන් ප්‍රේමකීර්ති ද අල්විස් මාවතට ඇතුළුවීම සීමා කිරීමට නියමිතය. මීට අමතරව බෞද්ධාලෝක මාවතේ ආර්.එෆ්.පී. හන්දියෙන් මේට්ලන්ඩ් පෙදෙසටත්, විජේරාම මාවතේ විද්‍යා මාවත හන්දියෙන් විද්‍යා මාවතටත් ඇතුළුවීම තහනම් වේ. එමෙන්ම මේට්ලන්ඩ් ක්‍රසන්ට් - ආර්.ජී. සේනානායක මාවත හන්දියෙන්, නිදහස් වටරවුමෙන් සහ හෝර්ටන් පෙදෙස - මේට්ලන්ඩ් ක්‍රසන්ට් හන්දියෙන් නිදහස් වටරවුම දෙසට රථවාහන ඇතුළුවීම ද මෙම කාලය තුළ සීමා කෙරෙනු ඇත.
නිදහස් දින ප්‍රධාන උත්සවය පැවැත්වෙන පෙබරවාරි 04 වන දින අලුයම 03.00 සිට උත්සවය නිමාවන තෙක් වඩාත් පුළුල් රථවාහන සැලැස්මක් ක්‍රියාත්මක වන අතර, පෙරහුරු දිනවල වසා තැබෙන මාර්ගවලට අමතරව හෝර්ටන් වටරවුමෙන් සහ පුස්තකාල හන්දියෙන් ආනන්ද කුමාරස්වාමි මාවතට ඇතුළුවීම සීමා කෙරේ. තවද ධර්මපාල මාවතෙන් සහ කන්නංගර මාවතෙන් එෆ්.ආර්. සේනානායක මාවතට ඇතුළුවීම ද මෙම කාලසීමාව තුළ සීමා කිරීමට පොලීසිය පියවර ගෙන ඇත.
කෙසේ වෙතත් ගමනාගමනය සීමා කරනු ලබන මෙම කාලසීමාවන් තුළ අදාළ මාර්ග ආශ්‍රිතව පදිංචිකරුවන්ට සහ එම ප්‍රදේශවල පිහිටි ආයතන වෙත රාජකාරි සඳහා වාර්තා කරන පිරිස් වෙත බාධාවක් නොවන පරිදි ගමන් කිරීමට අවස්ථාව සලසා දී තිබේ. මෙම විශේෂ රථවාහන විධිවිධාන පිළිබඳව අවධානය යොමු කර අවශ්‍ය සහයෝගය ලබා දෙන ලෙස පොලීසිය මහජනතාවගෙන් සහ රියදුරන්ගෙන් ඉල්ලා සිටියි.