මැදපෙරදිග කලාපයේ මේ වන විට වර්ධනය වෙමින් පවතින යුදමය උණුසුම සහ නොසන්සුන්කාරී වාතාවරණය සැලකිල්ලට ගනිමින් ඊශ්‍රායලයේ වෙසෙන ශ්‍රී ලාංකිකයින් වෙත විශේෂ ආරක්ෂක උපදෙස් මාලාවක් නිකුත් කිරීමට එරට ශ්‍රී ලංකා තානාපති නිමල් බණ්ඩාර මහතා ඊයේ (15) පියවර ගෙන තිබේ. හදිසි මිසයිල ප්‍රහාරයක් හෝ ත්‍රස්ත ක්‍රියාවක් සිදු වුවහොත් ඊට මුහුණ දීම සඳහා සූදානම්ව සිටීමේ වැදගත්කම අවධාරණය කරමින් මෙම උපදෙස් නිකුත් කර ඇත.
පසුගිය වසරේ ජූනි මාසයේදී ඊශ්‍රායලය වෙත එල්ල වූ ඉරාන මිසයිල ප්‍රහාර හමුවේ කිසිදු ශ්‍රී ලාංකිකයෙකුට ජීවිත හානියක් සිදු නොවූයේ එරට ආරක්ෂක අංශ සහ තානාපති කාර්යාලය ලබා දුන් උපදෙස් ජනතාව විසින් නිසි පරිදි පිළිපැදීම හේතුවෙන් බව තානාපතිවරයා පෙන්වා දුන්නේය. විශේෂයෙන් හදිසි අනතුරු ඇඟවීමේ නලාවන් නාද වීමත් සමඟ එරට වැසියන් තම නිවෙස්වල හෝ ඒ ආසන්නයේ පිහිටි ආරක්ෂිත ස්ථාන වෙත යොමු වීම හේතුවෙන් විශාල ජීවිත හානියක් වළක්වා ගැනීමට හැකි වූ බව හෙතෙම සඳහන් කළේය.
එබැවින් වත්මන් තත්ත්වය හමුවේ ද ආරක්ෂක අංශ විසින් මාධ්‍ය ඔස්සේ ලබා දෙන නිවේදන පිළිබඳව නිරන්තර අවධානයෙන් සිටින ලෙස තානාපතිවරයා ශ්‍රී ලාංකිකයින්ගෙන් ඉල්ලා සිටියි. යම් රෝගාබාධයක් සඳහා ඖෂධ භාවිත කරන පිරිස් එම ඖෂධ සෑම විටම තමන් සන්තකයේ තබා ගැනීම අතිශය වැදගත් වේ. එමෙන්ම විදුලිය හෝ අන්තර්ජාල පද්ධති බිඳ වැටීමක් හේතුවෙන් දුරකථන සබඳතා ඇණහිටියහොත්, ශ්‍රී ලංකාවේ සිටින ඔවුන්ගේ ඥාතීන් අනවශ්‍ය ලෙස කලබලයට පත් නොවිය යුතු බව ද තානාපති නිමල් බණ්ඩාර මහතා අවධාරණය කළේය.
විවෘත ස්ථානවල සේවය කරන පිරිස් වෙත උපදෙස් දෙමින් තානාපතිවරයා ප්‍රකාශ කළේ, සේවා කාලය අතරතුර හදිසි අනතුරු ඇඟවීමක් ලැබුණහොත් වහාම තමන්ට ආසන්නතම ආරක්ෂිත ස්ථානයේ රැකවරණය ලබා ගත යුතු බවයි. එසේම වාහනයක ගමන් කරමින් සිටින අවස්ථාවක මෙවැනි හදිසි තත්ත්වයක් ඇති වුවහොත්, වහාම වාහනයෙන් බැස ළඟම ඇති ආරක්ෂිත ස්ථානයක් වෙත ගමන් කළ යුතු බව ද හෙතෙම වැඩිදුරටත් කියා සිටියේය.
වත්මන් නොසන්සුන් තත්ත්වය හේතුවෙන් බොහෝ ගුවන් සමාගම් ඉරාන ගුවන් සීමාව මග හැර පියාසර කිරීමට පියවර ගෙන ඇති බැවින්, මැදපෙරදිග කලාපය හරහා හෝ ඊශ්‍රායලය බලා ගමන් කිරීමට අපේක්ෂා කරන මගීන් තම ගුවන් ගමන් පිළිබඳව අදාළ ගුවන් සමාගම් මගින් නැවත තහවුරු කර ගැනීමක් සිදු කළ යුතුය. කෙසේ වෙතත් ටෙල් අවිව් ගුවන් තොටුපොළේ මෙහෙයුම් සුපුරුදු පරිදි සිදු වන අතර, ෆ්ලයි ඩුබායි සහ එතිහාඩ් වැනි ගුවන් සමාගම් ඊයේ (15) දිනයේත් නියමිත කාලසටහනට අනුව ගුවන් ගමන් ක්‍රියාත්මක කළ බව ගුවන් තොටුපොළ දත්ත මගින් තහවුරු වී ඇතැයි තානාපතිවරයා ප්‍රකාශ කළේය.