වෙනිසියුලාවේ මෑතකදී ඇති වී තිබෙන සිදුවීම් සහ පවතින තත්ත්වය සම්බන්ධයෙන් ශ්‍රී ලංකා රජය දැඩි අවධානයක් යොමු කර ඇති අතර, එහි සිදුවන දෑ පිළිබඳව ඉතා සුපරීක්ෂාකාරීව නිරීක්ෂණය කරමින් සිටින බව විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍යාංශය අද (2026 ජනවාරි 05) නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරයි.
ජාත්‍යන්තර නීතියට සහ එක්සත් ජාතීන්ගේ ප්‍රඥප්තියට අනුකූලව කටයුතු කිරීමේ වැදගත්කම ශ්‍රී ලංකාව මෙහිදී විශේෂයෙන් අවධාරණය කර සිටී. විශේෂයෙන්ම බලය යොදාගැනීමෙන් වැළකීම, අන්‍ය රාජ්‍යයන්ගේ අභ්‍යන්තර කටයුතුවලට මැදිහත් නොවීම, ජාත්‍යන්තර ආරවුල් සාමකාමීව විසඳා ගැනීම මෙන්ම රාජ්‍යයන්ගේ ස්වෛරීභාවය සහ භෞමික අඛණ්ඩතාවයට ගරු කිරීම යන මූලධර්ම ආරක්ෂා කළ යුතු බව එම නිවේදනයේ දැක්වේ.
වෙනිසියුලානු ජනතාවගේ ආරක්ෂාව සහ යහපැවැත්ම මෙන්ම එම කලාපයේ ස්ථාවරත්වය කෙරෙහි ශ්‍රී ලංකා රජය දැඩි සැලකිල්ලක් දක්වන බව අමාත්‍යාංශය පෙන්වා දෙයි. ගැටුම් උත්සන්න කිරීම වෙනුවට සාකච්ඡා මාර්ගයෙන් සාමකාමී විසඳුමක් කරා එළඹීමට ප්‍රමුඛත්වය ලබා දෙන ලෙස අදාළ සියලු පාර්ශවයන්ගෙන් රජය ඉල්ලා සිටී.
මෙම තීරණාත්මක අවස්ථාවේදී, එක්සත් ජාතීන්ගේ සංවිධානය සහ එහි ආරක්ෂක මණ්ඩලය වැනි ආයතන මෙම තත්ත්වය පිළිබඳව කඩිනමින් අවධානය යොමු කිරීමේ අත්‍යවශ්‍යතාවය ද නිවේදනයේ සඳහන් වේ. වෙනිසියුලානු ජනතාවගේ ආරක්ෂාව, යහපැවැත්ම සහ ස්වෛරී අයිතිවාසිකම් සැලකිල්ලට ගනිමින් සාමකාමී විසඳුමක් ඇති කර ගැනීම සඳහා කටයුතු කිරීම කාලීන අවශ්‍යතාවයක් බව විදේශ කටයුතු අමාත්‍යාංශය වැඩිදුරටත් අවධාරණය කරයි.