වෙනිසියුලානු ජනාධිපති නිකලස් මදුරෝ සහ ඔහුගේ බිරිඳ සිලියා ෆ්ලෝරස් ඇමරිකානු නිලධාරීන්ගේ අත්අඩංගුවට පත්ව නිව්යෝර්ක් හි ස්ටුවර්ට් ගුවන් ජාතික ආරක්ෂක කඳවුරේදී දක්නට ලැබුණු අතර එහිදී ඔහු නිලධාරීන්ට සුබ නව වසරක් වේවා යැයි පවසා තිබේ. මෙම අත්අඩංගුවට ගැනීමට පෙර 2025 අගෝස්තු මාසයේ සිට ඇමරිකානු මධ්‍යම බුද්ධි ඒජන්සියේ (CIA) රහසිගත කණ්ඩායමක් වෙස්වලාගෙන කරාකස් නුවර වීදිවල රැඳී සිටිමින්
මදුරෝගේ දින චර්යාව, ඔහු හමුවන පුද්ගලයින් සහ ඔහුගේ බල්ලන් බළලුන් වැනි සුරතල් සතුන්ගේ පුරුදු පවා නිරීක්ෂණය කරමින් තොරතුරු රැස් කර ඇත. ඇමරිකානු තානාපති කාර්යාලය 2019 සිට වසා දමා තිබීම නිසා බාහිර සහායක් නොමැතිව ක්‍රියාත්මක වූ මෙම ඒජන්තයින්ට මදුරෝගේ අභ්‍යන්තර කවයේ සිටි ඔත්තුකරුවෙකුගේ සහාය ලැබී ඇති අතර අහසේ සැරිසැරූ ස්ටෙල්ත් ඩ්‍රෝන යානා මගින් වීඩියෝ සහ ඡායාරූප ලබා ගෙන තිබේ.2020 වසරේ සිට ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් මදුරෝව මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු ලෙස නම් කර තිබූ අතර, වෙනිසියුලාවේ තෙල් සම්පත සහ දේශපාලන පාලනය අත්පත් කර ගැනීමේ අරමුණින් මෙම මෙහෙයුම දියත් කර ඇත. මදුරෝ අල්ලා ගැනීම සඳහා ඇමරිකාවේ විශේෂ ඩෙල්ටා ෆෝස් ඒකකය යොදවා තිබූ අතර,
කෙන්ටකි හි ජනාධිපති මන්දිරයේ පූර්ණ පරිමාණ ආකෘතියක් නිර්මාණය කර 'ඔපරේෂන් ඇබ්සොලියුට් රිසෝල්ව්' නමින් පෙරහුරු පවත්වමින් වානේ දොරවල් කඩා දමන ආකාරය සහ අඳුරේ ගමන් කරන ආකාරය පිළිබඳව කමාන්ඩෝ භටයින් පුහුණු කර තිබේ. ආරක්ෂක හේතූන් මත මදුරෝ ස්ථාන 6-8ක් අතර මාරුවෙන් මාරුවට රැඳී සිටීම නිසා ඔහු සිටින නිශ්චිත ස්ථානය සොයා ගැනීම අභියෝගයක් වී තිබුණි.
ප්‍රහාරය දියත් කිරීමට පෙර ඇමරිකාව විසින් ප්‍රදේශයේ යුධ ගුවන් යානා, ඉලෙක්ට්‍රොනික යුධ නැව් සහ ඩ්‍රෝන යානා ධාරිතාව ඉහළ නංවන ලද අතර නත්තල් නිවාඩුව සහ අයහපත් කාලගුණය හේතුවෙන් මෙහෙයුම ප්‍රමාද වී අවසානයේ 2026 ජනවාරි 3 වන දින රාත්‍රියේ දියත් කෙරුණි. ෆ්ලොරිඩාවේ මාර්-අ-ලාගෝ හි සිට මෙම මෙහෙයුම රූපවාහිනී වැඩසටහනක් මෙන් සජීවීව නැරඹූ ට්‍රම්ප් විසින් රාත්‍රී 10:46 ට අවසන් අනුමැතිය ලබා දී ඇත. සයිබර් ප්‍රහාරයකින් කරාකස් නුවර විදුලිය විසන්ධි කිරීමත් සමඟ ඇරඹුනු මෙම මෙහෙයුමේදී ගුවන් යානා 150කට අධික සංඛ්‍යාවක් යොදවා රේඩාර් පද්ධති සහ රේඩියෝ කුළුණු වෙත බෝම්බ හෙලමින් ප්‍රහාර එල්ල කර තිබේ.
මුහුද මට්ටමේ සිට අඩි 100ක් වැනි ඉතා පහළ මට්ටමකින් පියාසර කළ හෙලිකොප්ටර් යානා මගින් ඩෙල්ටා ෆෝස් භටයින් මදුරෝ රැඳී සිටි ෆුවර්ටේ ටියුනා හමුදා කඳවුරට ගොඩබැස ඇති අතර
එහිදී දෙපාර්ශවය අතර වෙඩි හුවමාරුවක් සිදුවිය. අලුයම 2:01ට පමණ පුපුරණ ද්‍රව්‍ය භාවිතා කරමින් දොරවල් කඩා ඇතුළු වූ ඇමරිකානු භටයින් විනාඩි 3ක් ඇතුළත ගොඩනැගිල්ලට ඇතුළු වී, ආරක්ෂිත කාමරයක් වෙත පලා යමින් සිටි මදුරෝ සහ ඔහුගේ බිරිඳ අත්අඩංගුවට ගැනීමට සමත් විය. එම ආරක්ෂිත කාමරයේ දොර ඉතා ඝනකම් එකක් වුවද ඔවුන්ට එය වසා ගැනීමට නොහැකි වූ බව පසුව ට්‍රම්ප් ප්‍රකාශ කළේය.
අලුයම 3:29 වන විට ඇමරිකානු භටයින් මදුරෝ රැගෙන වෙනිසියුලාවෙන් පිටත්ව ගිය අතර, පසුව ඔහුව ග්වාන්තනාමෝ බේ හරහා නිව්යෝර්ක් වෙත ගෙන ගොස් බෲක්ලින් බන්ධනාගාරයේ රඳවා තිබේ. මෙම මෙහෙයුමෙන් වෙනිසියුලානු සෙබළුන් සහ සිවිල් වැසියන් 40 දෙනෙකු මියගොස් ඇමරිකානු භටයින් 6 දෙනෙකු තුවාල ලබා ඇති අතර, ට්‍රම්ප් විසින් වෙනිසියුලාවේ උප ජනාධිපති ඩෙල්සි රොඩ්රිගස් අන්තර්වාර ජනාධිපති ලෙස නම් කර රටේ පාලනය ඇමරිකාව යටතට ගන්නා බව නිවේදනය කර ඇත. ජාත්‍යන්තර නීතිය යටතේ මෙය නීතිවිරෝධී වාඩිලා ගැනීමක් ලෙස නීති විශාරදයින් පෙන්වා දී තිබේ.