cid-takes-statements-from-teachers-who-have-undergone-module-training

නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ යටතේ සකස් කළ 6 වැනි ශ්‍රේණියේ ඉංග්‍රීසි විෂය මොඩියුලයේ අන්තර්ගත වූ ගැටලු සහගත කරුණ සම්බන්ධයෙන් සිදුකරන විමර්ශන කඩිනම් කරන ලෙස ගංගොඩවිල මහේස්ත්‍රාත් රුවන්තිකා මාරසිංහ මහත්මිය අද (30) අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට නියෝග කළාය. විශේෂයෙන්ම මෙම මොඩියුලය පිළිබඳ පුහුණුව ලැබූ ගුරුවරුන්ගෙන් ද ප්‍රකාශ සටහන් කරගෙන විමර්ශන කටයුතු කඩිනමින් අවසන් කිරීමට පියවර ගන්නා ලෙස මහේස්ත්‍රාත්වරිය එහිදී අවධාරණය කර සිටියාය.




දරුවන්ට නුසුදුසු වෙබ් අඩවියක නමක් එම විෂය මොඩියුලය තුළ සඳහන් වීම සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් පවත්වනු ලබන විමර්ශනවල ප්‍රගතිය අධිකරණයට වාර්තා කළ අවස්ථාවේදී මෙම නියෝගය ලබා දීම සිදුවිය. ගංගොඩවිල මහේස්ත්‍රාත් අධිකරණයේ නියෝගයක් මත අද දිනයේදීත් විමර්ශන නිලධාරීන් විසින් ඊට අදාළ කරුණු අධිකරණය හමුවේ ගොනු කර තිබිණි.

මෙහිදී අගතියට පත් පාර්ශ්වය වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ මෛත්‍රි ගුණරත්න මහතා අධිකරණය හමුවේ කරුණු දක්වමින් කියා සිටියේ, අදාළ සිද්ධිය සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ විමර්ශන කටයුතු ඉතා මන්දගාමී ස්වභාවයක් ගන්නා බවයි. අධ්‍යාපන අමාත්‍යවරිය සහ අමාත්‍යාංශ ලේකම්වරයා ඇතුළු ඉහළ නිලධාරීන් වගකිව යුතු මෙම බරපතල සිදුවීම, නිලධාරීන් දෙදෙනෙකුගේ වැඩ තහනම් කිරීම මගින් පමණක් ලඝු කොට සරල කාරණයක් ලෙස දැක්වීමට උත්සාහ කර ඇති බවට ද ජනාධිපති නීතිඥවරයා එහිදී දැඩි ලෙස චෝදනා කළේය.




තවද, ප්‍රශ්නගත වෙබ් අඩවිය සම්බන්ධ තොරතුරු අදාළ මොඩියුලයේ 51 සහ 52 යන පිටුවල සඳහන්ව තිබුණ ද, විමර්ශන නිලධාරීන් අධිකරණයට ඉදිරිපත් කළ වාර්තාවේ දැක්වෙන්නේ එම තොරතුරු 47 සහ 48 පිටුවල අන්තර්ගත බව යැයි නීතිඥවරයා පෙන්වා දුන්නේය. ඊට ප්‍රතිචාර දක්වමින් පොලිසිය ප්‍රකාශ කළේ තමන් අධිකරණයට ඉදිරිපත් කළේ 2025 දෙසැම්බර් 23 දින මුද්‍රිත මොඩියුලයක් බවයි. කෙසේ වෙතත්, ගුරුවරුන් පුහුණු කිරීමට යොදාගත් මුල් මොඩියුලය මෙය නොවන බවත්, විමර්ශන නිලධාරීන් ඊට වෙනස් මොඩියුලයක් අධිකරණයට ඉදිරිපත් කර ඇති බවත් මැදිහත්කාර පාර්ශ්වයේ නීතිඥවරු තර්ක කළහ.

මෙම කරුණු සැලකිල්ලට ගත් මහේස්ත්‍රාත්වරිය, අදාළ මොඩියුල පිටපත් දෙකම නඩු භාණ්ඩ වශයෙන් අධිකරණයට භාර දෙන ලෙස නියෝග කළාය. එසේම සිද්ධියට අදාළව නිලධාරීන් දෙදෙනෙකුගේ වැඩ තහනම් කිරීම සම්බන්ධයෙන් විමසූ විට, මොඩියුල සැකසූ නිලධාරීන් දෙදෙනෙකු එලෙස වැඩ තහනමට ලක්ව ඇත්තේ අමාත්‍යාංශයේ අභ්‍යන්තර පරීක්ෂණයකට අනුව බව විමර්ශන නිලධාරීහු පිළිතුරු දුන්හ.



මෙම සිදුවීම හුදෙක් රාජකාරිමය නොසැලකිල්ලක් ද, නැතහොත් සිතා මතා සිදු කළ ක්‍රියාවක් ද යන්න පිළිබඳව ගැඹුරින් විමර්ශනය කළ යුතු බව මහේස්ත්‍රාත්වරිය පෙන්වා දුන්නාය. එසේම මෙම සිදුවීම හරහා රජයේ පොදු දේපළ අවභාවිතයක් සිදුව තිබේ ද යන්න අනාවරණය කර ගැනීම සඳහා මොඩියුලය ආශ්‍රිතව පුහුණුව ලැබූ ගුරුවරුන්ගේ සාක්ෂි ලබා ගැනීම අත්‍යවශ්‍ය බව ද ඇය සඳහන් කළාය.

සිද්ධියට අදාළව අධ්‍යාපන අමාත්‍යාංශ ලේකම්වරයා පිළිබඳ යම් සැකයක් පවතින්නේ නම්, ඔහු ද මෙම නඩුවේ සාක්ෂිකරුවෙකු විය යුතු බව මහේස්ත්‍රාත්වරිය ප්‍රකාශ කළාය. ඒ අනුව විමර්ශනවල වැඩිදුර ප්‍රගතිය එළඹෙන පෙබරවාරි මස 20 වැනිදා අධිකරණයට වාර්තා කරන ලෙස ගංගොඩවිල මහේස්ත්‍රාත් රුවන්තිකා මාරසිංහ මහත්මිය අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට නියෝග නිකුත් කළාය.