relief-of-sri-lankan-who-tried-to-jump-to-uk-by-giving-ticket-at-bangalore-airport-toilet

බැංගලෝර් හි කම්පේගවුඩා ජාත්‍යන්තර ගුවන්තොටුපළේදී එක්සත් රාජධානිය බලා පියාසර කිරීමට තිබූ ගුවන් ප්‍රවේශ පත්‍රය (Boarding Pass), වැසිකිළියක් තුළදී රහසිගතව ශ්‍රී ලාංකිකයෙකුට ලබා දී ඔහු නීතිවිරෝධී ලෙස විදෙස්ගත කිරීමට උත්සාහ කළ බ්‍රිතාන්‍ය ජාතිකයෙකු අත්අඩංගුවට පත්ව තිබේ. පසුගිය ජනවාරි 18 වන දින මෙම සිදුවීම වාර්තා වී ඇති අතර, සිද්ධියට සම්බන්ධ බ්‍රිතාන්‍ය ජාතිකයා ඉන්දීය පොලිස් අත්අඩංගුවේ පසුවන අතර ව්‍යාජ ලෙස ලන්ඩන් වෙත ගිය ශ්‍රී ලාංකිකයා එරට බලධාරීන් විසින් රඳවාගෙන ඇත.




බටහිර ලන්ඩනයේ පදිංචි 52 හැවිරිදි ව්‍යාපාරිකයෙකු වන කන්දයියා රාජගෝපාල් නමැත්තා සිය ගුවන් යානා ප්‍රවේශ පත්‍රය ශ්‍රී ලාංකිකයෙකු වන ෂරුසන් කුනසේකරන් වෙත ලබා දී ඇත්තේ ඔහුට එරටට ඇතුළු වීමට නීත්‍යානුකූල වීසා බලපත්‍රයක් නොතිබූ බැවිනි. සංචාරක වීසා මත ඉන්දියාවට පැමිණ සිටි කන්දයියා, ලන්ඩන් බලා යාමට වර්ජින් ඇට්ලන්ටික් ගුවන් සේවයේ ප්‍රවේශ පත්‍රයක් වෙන්කරවා ගෙන තිබූ අතර, ෂරුසන් සිංගප්පූරුව බලා යාමට ඉන්ඩිගෝ ගුවන් සේවයේ ප්‍රවේශ පත්‍රයක් ලබාගෙන තිබී ඇත. ගුවන්තොටුපළ ආරක්ෂක පරීක්ෂා කිරීම්වලින් පසුව පර්යන්තයේ වැසිකිළියක් තුළදී මුණගැසුණු මොවුන් සිය ගුවන් ප්‍රවේශ පත්‍ර හුවමාරු කරගෙන ඇති බව පරීක්ෂණවලදී හෙළි වී තිබේ.

කන්දයියාගේ ප්‍රවේශ පත්‍රය භාවිතා කරමින් ෂරුසන් ලන්ඩන් බලා පිටත්ව ගියද, කන්දයියා ගුවන්තොටුපළ පරිශ්‍රයේ සැකකටයුතු ලෙස පැය අටකට ආසන්න කාලයක් රැඳී සිටීම මධ්‍යම කාර්මික ආරක්ෂක බලකායේ අවධානයට ලක්ව ඇත. ආගමන විගමන නිලධාරීන් විසින් ඔහුගෙන් ප්‍රශ්න කිරීමේදී සහ ගුවන් සේවය හරහා තොරතුරු තහවුරු කර ගැනීමේදී අනාවරණය වී ඇත්තේ කන්දයියාට අයත් ආසනයේ වෙනත් පුද්ගලයෙකු ගමන් කර ඇති බවයි. තමා ෂරුසන්ට ලන්ඩන් වෙත යාමට උදව් කිරීමට සැලසුම් කළ බවත්, අනතුරුව තමා ශ්‍රී ලංකාවට පැමිණීමට ප්‍රවේශ පත්‍රයක් වෙන්කරවා ගත් බවත් ඔහු පොලිසිය හමුවේ පිළිගෙන තිබේ.




ඉන්දීය බලධාරීන් ලබා දුන් තොරතුරු මත ක්‍රියාත්මක වූ එක්සත් රාජධානියේ නිලධාරීන් ෂරුසන් එරටට ළඟා වූ වහාම රඳවාගෙන ඇති අතර, ඔහුව නැවත ශ්‍රී ලංකාවට පිටුවහල් කිරීමට කටයුතු කරමින් සිටී. වසර 30ක් පුරා ලන්ඩනයේ පදිංචිව සිටින කන්දයියා 2012 වසරේ ත්‍රිකුණාමලයේදී සිදුවූ වෙඩි තැබීමකින් තුවාල ලබා ඇති බවද පවසා ඇති අතර, 2025 ආගමන සහ විදේශිකයන් පනත යටතේ ඔහුට නඩු පැවරීමට කටයුතු කර ඇත. මේ වන විට ඔහු අධිකරණ නියෝග මත පරප්පන අග්‍රහාරා මධ්‍යම බන්ධනාගාරයේ රක්ෂිත බන්ධනාගාර ගත කර තිබේ.