legal-action-against-the-tutor-who-insulted-wickramasinghe-surin

හෙළයේ මහා ගත්කරු මාර්ටින් වික්‍රමසිංහ මහතාට අපහාසාත්මක අයුරින් ප්‍රකාශ සිදුකළ බව කියන ටියුෂන් ගුරුවරයෙකුට එරෙහිව නීතිමය පියවර ගත යුතු බව කැබිනට් මාධ්‍ය ප්‍රකාශක මෙන්ම සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා අවධාරණය කළේය.




අන්තර්ජාලය හා සමාජ මාධ්‍ය පුළුල් ව්‍යාප්තියත් සමඟ, රටක් නියෝජනය කරන ගෞරවනීය පුද්ගලයන්ගේ අභිමානය රැක ගැනීම පිණිස යම් පාලනයක අවශ්‍යතාවය පවතින බවද අමාත්‍යවරයා මෙහිදී සඳහන් කළේය.

මෙම අදහස් කැබිනට් මාධ්‍ය හමුවකදී පළ කළේ, මාර්ටින් වික්‍රමසිංහ මහතාට අපහාස වන අයුරින් ප්‍රකාශ නිකුත් කළ බවට චෝදනා එල්ල වන ටියුෂන් ගුරුවරයෙකු සම්බන්ධයෙන් මාධ්‍යවේදීන් නැගූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමිනි.




අමාත්‍යවරයා වැඩිදුරටත් කියා සිටියේ, මෙවැනි සිදුවීම් පාලනය කිරීමට නීති පද්ධතියක් අත්‍යවශ්‍ය බවත්, එම නීතිය ජීවත්වන පුද්ගලයන්ට පමණක් නොව, රටක් නියෝජනය කරන ගෞරවනීය පුද්ගලයන්ගේ අභිමානය ආරක්ෂා කිරීමට ද වැදගත් වන බවත්ය. අන්තර්ජාලය හා සමාජ මාධ්‍ය ව්‍යාප්ත වීමත් සමඟ, ඒ තුළ සිදුවන මෙවැනි ක්‍රියාවන් සඳහා යම් පාලනයක් තිබිය යුතු බවට ඔහු අවධාරණය කළේය. මෙය මාධ්‍ය හෝ සමාජ මාධ්‍ය මර්දනයක් හෝ භාෂණයේ නිදහස අහිමි කිරීමක් ලෙස අර්ථකථනය නොකළ යුතු බව පෙන්වා දුන් අමාත්‍යවරයා, සමාජයේ සුරක්ෂිත පැවැත්ම සඳහා යම් නීති පද්ධතියක් අත්‍යවශ්‍ය බව අවධාරණය කළේය.

මෙවැනි කරුණු රීති පද්ධති මගින් කළමනාකරණය කරගත හැකි නම් එය වඩාත් යෝග්‍ය බවත්, එහෙත් රීති, සම්ප්‍රදායන් සහ සමාජයේ පැවැත්ම නොසලකා කටයුතු කරන පුද්ගලයන් කිහිපදෙනෙකු සඳහා නීති අත්‍යවශ්‍ය බවත් අමාත්‍යවරයා පැහැදිලි කළේය. තවද, මාර්ගගත ආරක්ෂක පනත (Online Security Bill) සඳහා දැනටමත් අදහස් විමසීම් සිදු කරමින් සිටින බවත්, ඒ සඳහා මහජන අදහස් දැක්වීම ද වැදගත් බවත් ඔහු ප්‍රකාශ කළේය.

gossiplanka image