රාජ්‍ය පරිපාලන, ස්වදේශ කටයුතු, පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශය විසින් මුස්ලිම් ජාතික රාජ්‍ය සේවකයින් සඳහා එළඹෙන රාමසාන් උපවාස සමය වෙනුවෙන් විශේෂ සහනදායී වැඩපිළිවෙළක් හඳුන්වා දී තිබේ. ඒ අනුව, රාමසාන් වෘතය රකිනා මුස්ලිම් රාජ්‍ය නිලධාරීන්ට සිය ආගමික වත්පිළිවෙත්වල නිරත වීමට පහසුකම් සැලසීම සඳහා නම්‍යශීලී සේවා මුර ක්‍රමයක් ක්‍රියාත්මක කරන ලෙස එම අමාත්‍යාංශය සියලුම රාජ්‍ය ආයතන වෙත උපදෙස් ලබා දී ඇත.
මෙම උපදෙස් ඇතුළත් චක්‍රලේඛය අමාත්‍යාංශ ලේකම්වරුන්, පළාත් ප්‍රධාන ලේකම්වරුන්, දෙපාර්තමේන්තු ප්‍රධානීන් මෙන්ම රාජ්‍ය සංස්ථා සහ ව්‍යවස්ථාපිත මණ්ඩල ප්‍රධානීන් වෙත යොමු කිරීමට අමාත්‍යාංශය පියවර ගෙන තිබේ. මෙවර රාමසාන් උපවාස සමය පෙබරවාරි මස 19 වන දින සිට මාර්තු මස 21 වන දින දක්වා යෙදී ඇති බව අදාළ චක්‍රලේඛයේ සඳහන් කර ඇති අතර, එම කාලසීමාව තුළ මුස්ලිම් සේවකයින්ට අවශ්‍ය ආගමික කටයුතු ඉටු කර ගැනීමට හැකි වන පරිදි රාජකාරි කාලසටහන් සකස් කරන ලෙස ආයතන ප්‍රධානීන් වෙත දැනුම් දී ඇත.
එසේම, මෙම කාලසීමාව තුළ විශේෂ නිවාඩු අනුමත කළ යුත්තේ අත්‍යවශ්‍යම හා මගහැරිය නොහැකි අවස්ථාවලදී පමණක් බව ද අමාත්‍යාංශය අවධාරණය කර සිටී. ඒ වෙනුවට, සේවා කාලසටහන් ගැලපීම මගින් රාජකාරි ආවරණය කර ගැනීමටත්, සේවකයින්ට අවශ්‍ය පහසුකම් සැලසීමටත් ප්‍රමුඛතාවය ලබා දෙන ලෙස අදාළ චක්‍රලේඛය මගින් වැඩිදුරටත් උපදෙස් ලබා දී තිබේ.