police-release-ai-photo-to-search-for-sea-shark-hotel-owners-killer

පසුගිය ජනවාරි 09 වැනි දින දෙහිවල ප්‍රදේශයේ ආපනශාලා හිමිකරුවෙකු වෙඩි තබා ඝාතනය කිරීමේ සිද්ධියට සම්බන්ධ ප්‍රධාන සැකකරු හඳුනාගැනීම සඳහා පොලිසිය විසින් මහජන සහාය ඉල්ලා සිටිනු ලැබේ.




දෙහිවල පොලිස් වසමට අයත් මැරීන් ඩ්‍රයිව් මාර්ගයේ, පීටර්ස් ලේන් හි අංක 59/06 දරන ස්ථානයේ පිහිටි Sea Shark නම් හෝටලයක් තුළ මෙම වෙඩි තැබීම සිදුව තිබූ අතර, ඉන් එම ආපනශාලාවේ හිමිකරු ජීවිතක්ෂයට පත්විය.

මෙම ඝාතන සිද්ධිය සම්බන්ධයෙන් ගල්කිස්ස අපරාධ විමර්ශන අංශය මේ වන විට පුළුල් විමර්ශන කටයුතු ආරම්භ කර ඇති අතර, සිද්ධිය ඇසින් දුටුවන් ලබාදුන් තොරතුරු මත පදනම්ව කෘතිම බුද්ධිය (AI) තාක්ෂණය භාවිත කරමින් වෙඩි තැබීම සිදුකළ සැකකරුගේ රුව නිර්මාණය කිරීමට විමර්ශන නිලධාරීන් පියවර ගෙන ඇත.

ඝාතනයට ලක්වූ හෝටල් හිමිකරුට මීට පෙර කිසිදු ජීවිත තර්ජනයක් නොතිබූ බව පොලිසිය සඳහන් කළද, ඔහු දෙහිවල සහ ගල්කිස්ස ප්‍රදේශවල මහා පරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු ලෙස සැලකෙන ‘චූවා සමන්ත’ නමැත්තාගේ සමීපතමයකු බවට තොරතුරු ලැබී තිබේ. බඩෝවිට අසංකගේ පාර්ශ්වය සහ කොස් මල්ලී, චූවා සමන්ත හා බෝධිය වත්තේ අවිශ්ක යන මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන්ගේ පාර්ශ්වය අතර කලක පටන් පවතින ගැටුම්කාරී තත්ත්වය මෙම ඝාතනයට ආසන්නතම හේතුව ලෙස සැක කෙරෙන අතර, මෙම පාතාල කල්ලි දෙක අතර පවතින දරුණු ආරවුල හේතුවෙන් මේ වනවිට දෙපාර්ශ්වයේම පුද්ගලයන් 13 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇති බව පොලිස් ආරංචි මාර්ග පෙන්වා දෙයි.

ඝාතනයට ලක්වූ ‘සනා මාමා’ නමැත්තා මීට ඉහත දී දෙහිවල ගල්කිස්ස නගර සභාවේ හිටපු දේශපාලඥයන් ඇසුරු කරමින් කප්පම් ගැනීම් වැනි කටයුතු සඳහා මැදිහත් වූ අයෙකු බවත්, පසුව පාතාල සාමාජික චූවා සමන්ත සමඟ සබඳතා ගොඩනගාගෙන ඇති බවත් හෙළි වී තිබේ. කුප්‍රකට මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු වන වෙලේ සුදාට අයත්ව තිබී රජසන්තක කළ දෙහිවල සත්වෝද්‍යානය ඉදිරිපිට රථ ගාල පාලනය කිරීමේ බලය නගර සභාව මගින් මොහුට ලබා දී තිබුණද, ඉන් ලැබෙන ආදායමෙන් කොටසක් වෙලේ සුදා වෙත ලබා දී ඇති බවට ද තොරතුරු වාර්තා වේ.


 නිර්මාණය කරන ලද ඡායාරූපයේ සිටින පුද්ගලයා සම්බන්ධයෙන් යම් තොරතුරක් දන්නා අයෙක් වෙතොත්, ඒ බව වහාම තමන් වෙත දැනුම් දෙන ලෙස පොලිසිය ජනමාධ්‍ය ඔස්සේ මහජනතාවගෙන් ඉල්ලීමක් කරයි.

news-2026-01-17-062645