හිටපු කතානායක සහ පාර්ලිමේන්තු මන්ත්‍රී අශෝක සපුමල් රංවල මහතාගේ බිරිඳ වන වෛද්‍ය ඉන්ද්‍රාණි රංවල මහත්මිය පදවාගෙන ගිය මෝටර් රථය අද (17) අලුයම අනතුරකට ලක්වීම හේතුවෙන් ඇය තුවාල ලබා රෝහල් ගත කර තිබේ. කැලණිය - බියගම මාර්ගයේ පිහිටි මන්ත්‍රීවරයාගේ නිවස ඉදිරිපිටදීම මෙම අනතුර සිදුව ඇති බව බියගම පොලිසිය තහවුරු කරයි.
බණ්ඩාරවත්ත දෙස සිට පැමිණි මන්ත්‍රීවරයාගේ බිරිඳ, තමන් පැදවූ මෝටර් රථය මාර්ගයේ දකුණුපස අයිනේ නවත්වා නිවසට ඇතුළු කිරීම සඳහා හරවමින් සිටියදී, කැලණිය දෙස සිට බණ්ඩාරවත්ත දෙසට ධාවනය වූ ප්‍රෝටෝන් වර්ගයේ මෝටර් රථයක් එහි ගැටීමෙන් මෙම අනතුර සිදුවී ඇති බව මූලික පොලිස් විමර්ශනවලදී අනාවරණය වී ඇත. අනතුර සිදුවන අවස්ථාවේ මන්ත්‍රීවරයාගේ නිවසේ රාත්‍රී ආරක්ෂක රාජකාරියේ නිරතව සිටි පොලිස් කොස්තාපල්වරයෙකු විසින් ලබාදුන් තොරතුරක් මත පොලිසිය වහාම විමර්ශන ආරම්භ කර තිබේ.
අනතුර සිදු කළ මෝටර් රථයේ රියදුරු ලෙස කටයුතු කර ඇත්තේ සංගීත කණ්ඩායමක ලීඩ් ගිටාර් වාදකයෙකු වන අතර බියගම පොලිසිය විසින් ඔහු අත්අඩංගුවට ගෙන ඇත. අත්අඩංගුවට ගත් සැකකරු කළුතර උතුර, ජාවත්ත ප්‍රදේශයේ පදිංචි 30 හැවිරිදි පුද්ගලයෙකු බවත්, සිදු කළ පරීක්ෂාවේදී අනතුර සිදුවන අවස්ථාවේ ඔහු මත්පැන් පානය කර සිටි බවට තහවුරු වී ඇති බවත් උසස් පොලිස් නිලධාරියෙකු සඳහන් කළේය.
අත්අඩංගුවට ගත් සැකකරු මහර අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතව ඇති අතර සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන ක්‍රියාත්මකය. බියගම පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක ඒ.ඒ.කේ.එම්. විජේසිංහ මහතාගේ උපදෙස් පරිදි, වැඩ බලන රථ වාහන අංශයේ ස්ථානාධිපති පොලිස් සැරයන් උපාලි (34895) මහතා ඇතුළු පොලිස් කණ්ඩායමක් මෙම පරීක්ෂණ මෙහෙයවයි.
