කඩුවෙල මහේස්ත්‍රාත් අධිකරණයේ අධිකරණ පොලිස් නිලධාරියකු ලෙස සේවය කළ පොලිස් කොස්තාපල්වරයකු පසුගිය (30) දින අලුයම යතුරුපැදි අනතුරකින් මියගොස් ඇතැයි නවගමුව පොලිසිය සඳහන් කරයි.
මෙම අනතුර සිදුව ඇත්තේ කඩුවෙල, බෝමිරිය, ඩඩ්ලි ගුණසේකර මාවත ආසන්නයේදී ඔහුගේ යතුරුපැදිය ටිපර් රථයක ගැටීමෙනි. අනතුරින් බරපතළ තුවාල ලබා රෝහල් ගතකර සිටියදී ඔහු මෙලෙස ජීවිතක්ෂයට පත්ව ඇත.
මෙසේ මියගොස් ඇත්තේ 40 හැවිරිදි, එක් දරු පියෙකු වන, පොලිස් කොස්තාපල් අරවින්ද සඳරුවන් (අංක 77855) මහතාය. ඔහු මොරගල පාර, පිලාන, වංචාවල පදිංචිකරුවෙකි. කඩුවෙල පොලිසියට අනුයුක්තව සේවය කළ ඒ මහතා, රාජකාරි නිමවා මිතුරෙකු නිවසට ඇරලවා නැවත පැමිණෙමින් සිටියදී මෙම අනතුරට මුහුණදී ඇති බව පොලිසිය වැඩිදුරටත් සඳහන් කළේය.
නවගමුව පොලිසියේ උසස් නිලධාරියකු පැවසූ පරිදි, මියගිය පොලිස් කොස්තාපල් අරවින්ද සඳරුවන් මහතා 2026 ජනවාරි මස 01 වැනිදා සිට ගාල්ල පොලිස් කොට්ඨාසයට මාරුවීම් ලබා සිටි නිලධාරියෙකි. ඔහු වසර 17කට අධික කාලයක් කොළඹ දිස්ත්‍රික්කයේ රාජකාරි කර තිබේ.
අනතුර සිදුවීමෙන් පසු, ප්‍රදේශවාසීන් විසින් තුවාල ලැබූ නිලධාරියාව නවගමුව රෝහලට ඇතුළත් කර ඇති අතර, වැඩිදුර ප්‍රතිකාර සඳහා එතැනින් කොළඹ ජාතික රෝහල වෙත මාරු කර යවා තිබේ. එහිදී ප්‍රතිකාර ලබමින් සිටියදී 30 වැනිදා අලුයම ඔහු ජීවිතක්ෂයට පත්ව ඇත. මරණය සම්බන්ධ පශ්චාත් මරණ පරීක්ෂණය අධිකරණ වෛද්‍ය දුලාංග බලල්ල මහතා විසින් සිදු කරන ලදී. අනතුරට සම්බන්ධ ටිපර් රථයේ රියැදුරු නවගමුව පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇති අතර, ඔහු පොළොන්නරුව ප්‍රදේශයේ පදිංචිකරුවෙකි. සැකකාර රියැදුරු කඩුවෙල මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබුණි. නවගමුව පොලිසියේ සැරයන්වරුන් වන නිහාල් (අංක 51887) සහ රෝහිත තලගල මහත්වරු මෙම සිද්ධිය පිළිබඳ පරීක්ෂණ මෙහෙයවූහ.