underworld-chuti-malli-arrest-dubai

ඩුබායිහිදී අත්අඩංගුවට ගෙන ඇති බවට වාර්තා වන පාතාල සාමාජික රසික චන්දිත කුමාර හෙවත් "චූටි මල්ලි" පසුගිය ජූලි 3 වැනිදා කඳාන ප්‍රදේශයේදී සිදු කළ වෙඩි තැබීමකින් හිටපු අමාත්‍ය මංගල සමරවීර මහතාගේ පෞද්ගලික ලේකම් සමීර මනහර මහතාට බරපතළ තුවාල සිදුකර ඔහුගේ මස්සිනා වන උපාලි කුලවර්ධන මහතා ඝාතනය කිරීමේ ප්‍රධාන සැකකරු වේ.




ඩුබායි බලධාරීන් විසින් මොහු අත්අඩංගුවට ගෙන ඇත්තේ ව්‍යාජ විදෙස් ගමන් බලපත්‍රයක් භාවිත කරමින් යුරෝපීය රටකට පලා යාමට සූදානම්ව සිටියදී ඩුබායි ගුවන්තොටුපොළේදී බව එරටින් ලැබෙන තොරතුරු වැඩිදුරටත් අනාවරණය කරයි. සැඟවී සිටිමින් ඔහු මෙම පලා යාමට උත්සාහ කර තිබේ.

මේ අතර, "කොණ්ඩයා" නමැති මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු සමඟ සමීප සබඳතා පවත්වාගෙන යමින් චූටි මල්ලි මත්ද්‍රව්‍ය ජාවාරම්වල නිරත වී ඇති බවට තොරතුරු ලැබී ඇතැයි පාතාල මර්දන කටයුතුවල නිරත ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධාරියෙක්  ප්‍රකාශ කර තිබේ.




මීට පෙර 2019 වසරේ ජනවාරි මාසයේදී පිළියන්දල ප්‍රදේශයේදී විදේශීය නිෂ්පාදිත පිස්තෝලයක්, ජීව උණ්ඩ තොගයක් සහ විදේශීය අත්බෝම්බ දෙකක් සමඟ මොහු තවත් සිව් දෙනෙකු සමඟ අත්අඩංගුවට ගෙන ඇත. අදාළ නඩුව මේ වන විටත් අධිකරණයේ විභාග වෙමින් පවතින බව එම ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධාරියා වැඩිදුරටත් කියා සිටියේය.

එමෙන්ම, ඔහුට එරෙහිව තවත් අපරාධ ක්‍රියා කිහිපයක් සම්බන්ධයෙන් අධිකරණයේ නඩු විභාග වෙමින් පවතින බවද වාර්තා වේ. කඳාන ප්‍රදේශයේ පිහිටි කායවර්ධන මධ්‍යස්ථානයකට ගොස් නැවත සිය නිවස බලා ගමන් කරමින් සිටි සමීර මනහර මහතා සහ ඔහුගේ මස්සිනා වූ උපාලි කුලවර්ධන මහතා ගමන් ගත් මෝටර් රථයට යතුරුපැදියකින් පැමිණි පුද්ගලයන් දෙදෙනෙකු මෙම වෙඩි ප්‍රහාරය එල්ල කර තිබිණි. එම සිද්ධියෙන් මාර්ගයේ ගමන් කරමින් සිටි කාන්තාවකටද තුවාල සිදු වූ අතර, ඇය රාගම රෝහලෙන් ප්‍රතිකාර ලබා ගත්තාය.