නැගෙනහිර කොංගෝ ප්‍රජාතන්ත්‍රවාදී ජනරජයේ පිහිටි රුබයා කොල්ටන් පතලක සිදුවූ විශාල නායයෑමක් හේතුවෙන් පුද්ගලයන් 200කට අධික පිරිසක් ජීවිතක්ෂයට පත්ව ඇති බවට වාර්තා වේ. උතුරු කිවු පළාතේ ගෝමා නගරයට කිලෝමීටර් 60ක් පමණ වයඹ දෙසින් පිහිටා ඇති මෙම පතලේ හදිසි කඩාවැටීමක් සිදුව ඇත්තේ පසුගිය බදාදා දිනයේදීය.
මෙම ආපදාවෙන් මියගිය පිරිස අතර පතල් කම්කරුවන්ට අමතරව කුඩා දරුවන් සහ වෙළඳාමේ නිරතව සිටි කාන්තාවන් ද සිටින බව එම ප්‍රදේශය පාලනය කරන කැරලිකාර කණ්ඩායමේ ප්‍රකාශකයෙකු වන ලුමුම්බා කම්බරේ මුයිසා රොයිටර් පුවත් සේවයට තහවුරු කර තිබේ.පවතින අධික වැසි සහිත කාලගුණයත් සමඟ පොළොව බුරුල් වී මෙම අනතුර සිදුව ඇති අතර, නායයෑම සිදුවන අවස්ථාවේදී වින්දිතයන් පතල් වළ තුළ රැඳී සිට ඇත. අනතුරින් බරපතල තුවාල ලැබූ පුද්ගලයන් 20 දෙනෙකු පමණ මේ වන විට සෞඛ්‍ය මධ්‍යස්ථාන වෙත යොමු කර ඇති අතර තවත් පිරිසක් සුන්බුන් අතර සිරවී සිටින බවට විශ්වාස කෙරේ. M23 කැරලිකාර කණ්ඩායම විසින් පත් කරන ලද උතුරු කිවු පළාත් ආණ්ඩුකාර එරස්ටන් බහාටි මුසංගා ප්‍රකාශ කර ඇත්තේ මළ සිරුරු කිහිපයක් ගොඩගෙන ඇති නමුත්, නිශ්චිත මරණ සංඛ්‍යාව මෙතෙක් තහවුරු වී නොමැති බවයි. කෙසේ වෙතත්, පළාත් ආණ්ඩුකාරවරයාගේ උපදේශකයෙකු අනන්‍යතාව හෙළි නොකිරීමේ කොන්දේසිය මත ප්‍රකාශ කර ඇත්තේ මරණ සංඛ්‍යාව 200 ඉක්මවිය හැකි බවයි.
රුබයා පතල ලොව පුරා ඉලෙක්ට්‍රොනික උපාංග නිෂ්පාදනය සඳහා අත්‍යවශ්‍ය වන ටැන්ටලම් ලෝහය ලබාගන්නා කොල්ටන් ඛනිජයෙන් සියයට 15ක් පමණ සැපයීම සිදු කරයි. ජංගම දුරකථන, පරිගණක සහ ගුවන් යානා කොටස් නිෂ්පාදනයට මෙම ඛනිජය අතිශයින් වැදගත් වේ. 2024 වසරේ සිට මෙම පතලේ පාලනය රුවන්ඩාවේ සහාය ලබන බව කියන M23 කැරලිකරුවන් සතුව පවතින අතර, එක්සත් ජාතීන්ගේ සංවිධානය චෝදනා කරන්නේ කැරලිකරුවන් තම යුද කටයුතු සඳහා මුදල් සොයා ගැනීමට මෙම ඛනිජ සම්පත් කොල්ලකන බවයි.
පතලේ සේවය කරන ආටිසනල් පතල්කරුවෙකු වන ෆ්‍රෑන්ක් බොලින්ගෝ පවසා ඇත්තේ වර්ෂාවත් සමඟ හදිසියේ පස් කන්ද කඩාවැටී මිනිසුන් ගසාගෙන ගිය බවත්, බොහෝ දෙනෙකු පස්වලට යට වී පණපිටින් වැළලී ගිය බවත්ය. කොංගෝව සතුව අතිවිශාල ඛනිජ සම්පත් ප්‍රමාණයක් පැවතියද, එරට ජනගහනයෙන් සියයට 70කට වැඩි පිරිසක් දිනකට ඩොලර් 2.15කට වඩා අඩු ආදායමකින් ජීවත් වන බව වාර්තා වේ. ප්‍රාදේශීය ජනතාව ඉතා අඩු මුදලකට දිනපතා අතින් මෙම පතල් හෑරීමේ නිරත වන අතර, මෙම ඛේදවාචකය මගින් එරට පතල් කර්මාන්තයේ පවතින අනාරක්ෂිත බව නැවතත් ලොවට අනාවරණය කර ඇත.