ආණ්ඩුව විසින් ලබා දුන් පොරොන්දු ඉටු නොකිරීම හේතුවෙන් එළඹෙන පෙබරවාරි මාසයේදී රටම අඳුරේ තැබෙන දැවැන්ත වැඩ වර්ජනයක් දියත් කිරීමට සූදානම් බව ලංකා විදුලිබල මණ්ඩලයේ වෘත්තීය සමිති එකමුතුව අනතුරු අඟවයි. ලංකා විදුලිබල මණ්ඩලයේ කාර්මික ශිල්පීන්ගේ සංගමයේ සභාපති කෝසල අබේසිංහ සහ නිදහස් සේවක සංගමයේ ප්‍රධාන ලේකම් ප්‍රභාත් ප්‍රියන්ත යන මහත්වරුන්ගේ ප්‍රධානත්වයෙන් පැවති මාධ්‍ය හමුවකදී මෙම අදහස් පළ කෙරිණි.
පසුගිය ඔක්තෝබර් මාසයේ දියත් කළ අකුරට වැඩ කිරීමේ වෘත්තීය ක්‍රියාමාර්ගය අවසන් කරන විට බලශක්ති අමාත්‍යවරයා විසින් ලිඛිත පොරොන්දු 24ක් ලබා දුන් නමුත්, විදුලි සේවකයින් තෘප්තිමත් වන ලෙස හෝ රටට ගැලපෙන ලෙස එම පොරොන්දු ඉටු කිරීමට ආණ්ඩුව අපොහොසත් වී ඇති බව වෘත්තීය සමිති නායකයෝ පෙන්වා දෙති.මෙවර ක්‍රියාමාර්ගය හුදෙක් උද්ඝෝෂණ හෝ පිකටිං ව්‍යාපාරවලට සීමා නොවන බවත්, එය පූර්ණ වැඩ වැරුමක් දක්වා වර්ධනය වන බවත් ඔවුහු අවධාරණය කරති. මෙම වැඩ වර්ජනය හේතුවෙන් රටේ ආර්ථිකයට, ජන ජීවිතයට සහ සමස්ත ක්‍රියාවලියට දැඩි බලපෑමක් එල්ල වන බව තමන් හොඳින් දන්නා නමුත්, ආණ්ඩුව සේවක හඬට ඇහුම්කන් නොදෙන පසුබිමක මෙවැනි තීරණයක් ගැනීමට සිදුව ඇති බව ඔවුහු සඳහන් කළහ. විශේෂයෙන්ම මෑතකදී සිදු කළ අධ්‍යාපන ප්‍රතිසංස්කරණවල සිදුවූ වැරදි ආදර්ශයට ගනිමින්, බලශක්ති ක්ෂේත්‍රයේ ප්‍රතිව්‍යුහගතකරණය විධිමත් ලෙස සිදු කළ යුතු බවත්, ව්‍යාපාරික වුවමනාවන් මත කොළේ වසා මෙම ක්‍රියාවලිය සිදු නොකළ යුතු බවත් වෘත්තීය සමිති නායකයෝ ජනාධිපතිවරයා ඇතුළු කැබිනට් මණ්ඩලයෙන් ඉල්ලා සිටිති.
යෝජිත ප්‍රතිව්‍යුහගතකරණ වැඩපිළිවෙල වැරදි ලෙස ක්‍රියාත්මක වුවහොත් එහි වගකීම භාර ගැනීමට බලධාරීන් හෝ අධ්‍යක්ෂ ජෙනරාල්වරයා නොසිටිනු ඇති බවත්, අවසානයේදී රැකියා අහිමි වී ගෙදර යාමට සිදුවනු ඇත්තේ අහිංසක විදුලිබල මණ්ඩල සේවකයින්ට බවත් කෝසල අබේසිංහ මහතා පෙන්වා දුන්නේය. විදුලිබල මණ්ඩලය ප්‍රතිව්‍යුහගතකරණයට වෘත්තීය සමිති විරුද්ධ නොවන බවත්, ඔවුන් ඉල්ලා සිටින්නේ රටට ගැලපෙන නිවැරදි ප්‍රතිසංස්කරණයක් පමණක් බවත් හෙතෙම සඳහන් කළේය. එහෙත් වත්මන් ක්‍රමවේදය හරහා සිදු කිරීමට උත්සාහ කරන්නේ විදුලිබල මණ්ඩලය වැරදි ආකාරයට ඇවර කිරීමක් බවට වෘත්තීය සමිති චෝදනා කරයි.
පෙබරවාරි මස පළමු වැනිදා හෝ ඊට ආසන්න දිනයකදී විදුලිබල මණ්ඩලය ඇවර කිරීමට අදාළ ගැසට් පත්‍රය නිකුත් කිරීමට රජය සූදානම් වන බවත්, යම් හෙයකින් එම ගැසට් පත්‍රය නිකුත් කළහොත් එය හකුලා ගන්නා තුරු අඛණ්ඩ වැඩ වර්ජනයක නිරත වන බවත් වෘත්තීය සමිති නායකයෝ රජයට අනතුරු ඇඟවූහ. එම දිනයෙන් පසු ඇතිවන කිසිදු අර්බුදයකට විදුලි සේවකයින් වග නොකියන බව ද ඔවුහු පැවසූහ. දැනටමත් විදුලිබල මණ්ඩලයේ සේවකයින් සඳහා ස්වේච්ඡා වන්දි ක්‍රමයක් (VRS) හඳුන්වා දී ඇති අතර, ඒ හරහා සහ වෙනත් හේතූන් මත සේවකයින් ඉවත්ව යාම හේතුවෙන් ආයතනය තුළ අර්බුදකාරී තත්ත්වයක් මතු වෙමින් පවතින බව ද සඳහන් විය.
ලංකා විදුලිබල මණ්ඩලයේ නිදහස් සේවක සංගමයේ ප්‍රධාන ලේකම් ප්‍රභාත් ප්‍රියන්ත මහතා අදහස් දක්වමින් කියා සිටියේ, මෙම ප්‍රතිව්‍යුහගතකරණ ක්‍රියාවලිය ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ හෝ වෙනත් පාර්ශවයක උවමනාව මත ඉතා රහසිගතව සිදු වෙමින් පවතින බවයි. සේවකයින්ගේ රැකියා සුරක්ෂිතතාව හෝ පාරිභෝගික අයිතිවාසිකම් පිළිබඳව කිසිදු තැකීමක් නොකර ආයතනය සමාගම් බවට පත් කිරීමට උත්සාහ කරන බවට ඔහු චෝදනා කළේය. පසුගියදා ඇතිවූ සුළි කුණාටු තත්ත්වය වැනි ආපදා අවස්ථාවකදී විදුලිබල මණ්ඩලය සමාගම් බවට පත්ව තිබුණේ නම්, විදුලිය යථා තත්ත්වයට පත් කිරීමේ යාන්ත්‍රණය අඩපණ වීමට ඉඩ තිබූ බව ද ඔහු පෙන්වා දුන්නේය.
රජය විදුලි බිල 33% කින් අඩු කරන බව ප්‍රකාශ කළ ද, නව පනත හරහා එවැනි මිල අඩු කිරීමේ යාන්ත්‍රණයක් ක්‍රියාත්මක නොවන බව වෘත්තීය සමිති පෙන්වා දෙයි. ඉදිරි දින කිහිපය තුළ රට පුරා ඇති සියලුම විදුලිබල මණ්ඩල කාර්යාල සහ වැඩබිම් වෙත ගොස් සේවකයින් දැනුවත් කිරීමේ වැඩපිළිවෙලක් ආරම්භ කර ඇති බවත්, අමාත්‍යවරයා හෝ බලධාරීන් තම ඉල්ලීම්වලට සාධනීය ප්‍රතිචාරයක් නොදක්වන්නේ නම් පෙබරවාරි මස මුලදී දැඩි වෘත්තීය ක්‍රියාමාර්ගයකට එළඹීම වැළැක්විය නොහැකි බවත් වෘත්තීය සමිති නායකයෝ වැඩිදුරටත් අවධාරණය කළහ.
