another-protest-that-the-attorney-general-is-biased---the-bar-association-says-he-is-not

නීතිපතිවරයාගේ ක්‍රියාකලාපයට එරෙහිව නීතිඥවරුන්, මාධ්‍යවේදීන් සහ සිවිල් ක්‍රියාකාරීන් පිරිසක් විසින් සංවිධානය කරන ලද විරෝධතාවක් අද (21) පෙරවරු 10.00 ට කොළඹ අලුත්කඩේ අධිකරණ සංකීර්ණය අසලදී ආරම්භ විය.




නීතිපති දෙපාර්තමේන්තුව තුළ සිදුවන බව කියන දූෂණ වසන් කිරීම සහ වංචා දූෂණ චෝදනා එල්ල වී ඇති පුද්ගලයන්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක නොකර ඔවුන් ආරක්ෂා කිරීමට නීතිපතිවරයා කටයුතු කරන බවට විරෝධතාකරුවෝ චෝදනා කරති. මෙවැනි විරෝධයක් මින් ඉහතද ඇතිවූයේ අභ්‍යන්තර ලිපියක් කාන්දුවීමෙන් පසුවය.

විශේෂයෙන් හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සම්බන්ධ විමර්ශනවලදී නීතිපතිවරයා පක්ෂග්‍රාහීව කටයුතු කිරීම, මහර බන්ධනාගාර සිදුවීම, මහේෂ් ඉන්දික ඝාතනය සහ ලසන්ත වික්‍රමතුංග ඝාතන නඩුවේ සැකකරුවන් නිදහස් කිරීමට තීරණය කිරීම වැනි සිදුවීම් පදනම් කරගනිමින් මෙම විරෝධතාව සංවිධානය කර තිබේ.




මීට අමතරව, බලංගොඩ කස්සප හිමි ඇතුළු පිරිසකට එරෙහිව පවතින නඩුවක චෝදනා ඉවත් කර ගැනීමට නීතිපති දෙපාර්තමේන්තුව දැරූ උත්සාහය ත්‍රිකුණාමලය මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ ඊයේ අසාර්ථක වීමද විරෝධතාකරුවන්ගේ දැඩි විවේචනයට ලක්ව ඇත.

මෙම විරෝධතාවට සමගාමීව නීතිපතිවරයාගේ සහ දෙපාර්තමේන්තුවේ ගෞරවය ආරක්ෂා කළ යුතු බව අවධාරණය කරමින් ‘ෆ්‍රී ලෝයර්ස්’ (Free Lawyers) සංවිධානය විසින්ද අද පස්වරු 1.45 ට නීතිපති කාර්යාලය අසල විරෝධතාවක් සංවිධානය කර තිබේ.



මේ අතර සමාජ මාධ්‍ය ඔස්සේ නීතිපතිවරයා ඉලක්ක කර ගනිමින් එල්ල වන විවේචන සම්බන්ධයෙන් කනස්සල්ල පළ කරමින් නිවේදනයක් නිකුත් කළ ශ්‍රී ලංකා නීතිඥ සංගමය අවධාරණය කරන්නේ නීතිපතිවරයාගේ කාර්යභාරය අර්ධ අධිකරණමය ස්වභාවයක් ගන්නා බවයි.

නීතිපතිවරයා තීරණ ගත යුත්තේ විමර්ශන නිලධාරීන් ඉදිරිපත් කරන සාක්ෂිවල නීතිමය වලංගුභාවය මත මිස මහජන මතය හෝ හැඟීම් මත නොවන බවත්, යම් තීරණයක් අසාධාරණ යැයි හැඟේ නම් ඊට එරෙහිව රිට් ආඥාවක් හෝ මූලික අයිතිවාසිකම් පෙත්සමක් හරහා අධිකරණ ක්‍රියාමාර්ග ගැනීමේ හැකියාව පවතින බවත් නීතිඥ සංගමය පෙන්වා දෙයි.

රාජ්‍ය නිලධාරීන්ට ස්වාධීනව කටයුතු කිරීමට ඉඩ ලබා දිය යුතු බව පවසන නීතිඥ සංගමය, දේශපාලන හෝ පටු අරමුණු වෙනුවෙන් රාජ්‍ය ආයතනවල ස්වාධීනත්වය පාවා නොදෙන ලෙස රජයෙන් සහ අදාළ ආයතනවලින් ඉල්ලා සිටියි.

කෙසේ වෙතත්, වර්තමාන රජය විසින් නීතිපති පාරින්ද රණසිංහ මහතාට එරෙහිව දෝෂාභියෝගයක් ගෙන ඒම පිළිබඳව මෙතෙක් කිසිදු සාකච්ඡාවක් සිදු කර නොමැති බව කැබිනට් මාධ්‍ය ප්‍රකාශක අමාත්‍ය නලින්ද ජයතිස්ස මහතා ඊයේ පැවති මාධ්‍ය හමුවකදී තහවුරු කළේය.

gossiplanka image 2