nilmini-unfortunately-died-when-a-coconut-fell-on-her-head

මරණය කිසිවකුටත් සිතා ගත නොහැකි මොහොතක අනපේක්ෂිත අයුරින් ළඟාවන්නකි. හොරණ, පොකුණුවිට, හේනේගම ප්‍රදේශයේ පදිංචිව සිටි 48 හැවිරිදි නිල්මිණි සුනේත්‍රා ගුණතිලක මහත්මියට අවාසනාවන්ත ලෙස ජීවිතයෙන් සමුගැනීමට සිදුවූයේද එවැනි අනපේක්ෂිත සිදුවීමක් හේතුවෙනි.

ඇය තම ඥාති නිවසක මුළුතැන්ගෙයි පිටුපස ඉදිකර ඇති කොටසේ රැඳී සිටියදී අවාසනාවන්ත ලෙස පොල් ගෙඩියක් හිස මතට වැටීමෙන් මෙම මරණය සිදුව තිබේ.




හේනේගම ප්‍රදේශයේ ඇඟලුම් ආයතනයක තත්ව පාලිකාවක ලෙස සේවය කළ ඇය කාගේත් ආදරය දිනාගත් තැනැත්තියකි. හොරණ ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ කාර්යාල කාර්ය සහායකවරයකු ලෙස සේවය කරන චමින්ද ප්‍රේමකුමාර මහතා ඇයගේ ස්වාමිපුරුෂයා වේ. මෙම යුවළට දරුවන් නොසිටි බැවින් නිවාඩු දිනවලදී ඇය තම ස්වාමිපුරුෂයාගේ සොහොයුරා වන ගමින්ද පත්මකුමාර මහතාගේ නිවසට පැමිණ එහි කාලය ගත කිරීමට පුරුදුව සිටියාය. පසුගිය 10 වැනිදා ද ඇය උදෑසනින්ම එම නිවසට පැමිණියේ වේළා ගැනීමට අවශ්‍ය පොල් ද රැගෙන බව ඥාතීහු පවසති.

එදින පෙරවරු 11.00 ට පමණ එම වත්තේ පොල් කැඩීම සඳහා පුද්ගලයකු පැමිණ ඇති අතර, නිල්මිණි මහත්මියගේ නෑනා වන චන්ද්‍රිකා මහත්මිය රෙදි වසමින් මිදුලේ රැඳී සිට ඇත. නිල්මිණි මහත්මිය මුළුතැන්ගෙයි දොරකඩ අසල රැඳී සිටියදී අඩි 80ක් පමණ උසැති ගසක තිබූ පොල් ගෙඩියක් කඩා බිමට දමා තිබේ. තාප්පය අසල තිබූ කණ්ඩියක වැදී විසිවී ආ එම පොල් ගෙඩිය නිල්මිණි මහත්මියගේ හිසෙහි වැදී ඇත්තේ ඇය කිසිසේත් නොසිතූ මොහොතකය.




නිවසේ හිමිකරු වන ගමින්ද පත්මකුමාර මහතා පවසන පරිදි සිය බිරිඳගේ කෑගැසීම ඇසී ඔහු දිව එන විටත් නිල්මිණි මහත්මිය මුහුණින් අතට බිම වැටී සිට ඇත. ඇයගේ දකුණු කනෙන් අධික ලෙස රුධිරය වහනය වෙමින් තිබූ අතර ඇය ඒ වන විටත් සිහිසුන්ව සිට තිබේ. වහාම ක්‍රියාත්මක වූ නිවැසියන් ඇයව හොරණ මූලික රෝහල වෙත රැගෙන ගොස් කෘත්‍රිම ශ්වසනය ඇතුළු මූලික ප්‍රතිකාර ලබා දීමෙන් අනතුරුව වැඩිදුර ප්‍රතිකාර සඳහා කොළඹ ජාතික රෝහල වෙත මාරු කර යවා ඇත.

රෝහලේදී ඇයව ශල්‍යකර්මයකට භාජනය කර දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබා දුන්නද ඇයගේ ජීවිතය බේරා ගැනීමට වෛද්‍යවරුන්ට නොහැකි වී තිබේ. දින කිහිපයක් ජීවිතයත් මරණයත් අතර සටනක නිරතව සිටි ඇය පසුගිය 15 වැනිදා අලුයම 1.30 ට පමණ අවසන් හුස්ම හෙළුවාය. පොල් ගස පිහිටා තිබුණේ තාප්පය අසල උස් බිමක බවත්, බිමට වැටුණු පොල් ගෙඩිය පොළොවේ වැදී ඉපිලී විත් (Bouncce වී) ඇයගේ හිසෙහි වැදී ඇති බවත් සිද්ධිය ඇසින් දුටුවන් විශ්වාස කරයි.

nilmini-unfortunately-died-when-a-coconut-fell-on-her-head