හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු මෙන්ම ප්‍රවීණ දේශපාලනඥයෙකු වූ නන්දන ගුණතිලක මහතා අභාවප්‍රාප්ත වී තිබේ. කලක් තිස්සේ රෝගාතුරව රාගම ශික්ෂණ රෝහලේ නේවාසිකව ප්‍රතිකාර ලබමින් සිටි ඒ මහතා අද (18) අලුයම අභාවප්‍රාප්ත වන විට 63 වැනි වියේ පසුවිය. ඔහුගේ අභාවය පිළිබඳව පවුලේ ඥාතීන් විසින් ද තහවුරු කර ඇත.
1962 සැප්තැම්බර් මස 07 වන දින පානදුරේ දී උපත ලැබූ නන්දන ගුණතිලක මහතා ජනතා විමුක්ති පෙරමුණේ පූර්ණකාලීන සාමාජිකයෙකු ලෙස සක්‍රීය දේශපාලනයට පිවිසියේය. ජනතා විමුක්ති පෙරමුණේ දේශපාලන ඉතිහාසය තුළ සුවිශේෂී සන්ධිස්ථානයක් සටහන් කරමින් 1999 වසරේ පැවති ජනාධිපතිවරණය සඳහා එම පක්ෂයේ ජනාධිපති අපේක්ෂකයා ලෙස ඉදිරිපත් වූයේ ද නන්දන ගුණතිලක මහතායි. එහිදී ඡන්ද 344,173ක් ලබා ගනිමින් අපේක්ෂකයින් අතරින් තුන්වන ස්ථානයට පත්වීමට ඔහුට හැකි විය.
පසුකාලීනව ජනතා විමුක්ති පෙරමුණ පොදුජන එක්සත් පෙරමුණ සමඟ සන්ධානගත වීමත් සමඟ, එක්සත් ජනතා නිදහස් සන්ධානය නියෝජනය කරමින් පාර්ලිමේන්තුවට තේරී පත්වීමට ඔහු සමත් විය. 11, 12 සහ 13 යන පාර්ලිමේන්තුවල වසර නවයකට ආසන්න කාලයක් මන්ත්‍රීවරයෙකු ලෙස කටයුතු කළ හෙතෙම, එම රජය යටතේ වැඩබලන තැපැල් හා විදුලි සංදේශ අමාත්‍ය ධුරය මෙන්ම සංචාරක අමාත්‍ය ධුරය ද හොබවමින් රාජ්‍ය පාලනයට දායකත්වය ලබා දුන්නේය.
කෙසේ වෙතත් පසුකාලීනව ඇති වූ දේශපාලන මතවාද හේතුවෙන් ඔහු ජනතා විමුක්ති පෙරමුණෙන් ඉවත් වී එක්සත් ජාතික පක්ෂය හා එක්විය. එම දේශපාලන පෙරළියත් සමඟ පානදුර නගර සභාවේ නගරාධිපති ධුරයට පත්ව කටයුතු කිරීමට ද නන්දන ගුණතිලක මහතා කටයුතු කළේය. අවසන් කාලයේත් දේශපාලන කටයුතු වල නිරතවූ අතර ඉතාම මෑතක හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ විශ්‍රාම වැටුප කපාදැමීමේ යෝජනාවට එරෙහිව හඬක් නැගූ නිසා මාධ්‍ය තුළ යළි කතාබහට ලක් විය.
නන්දන ගුණතිලක මහතාගේ අවසන් කටයුතු පිළිබඳ ඉදිරියට දැනුම් දෙනු ලැබේ.

