namal-rajapaksa-thambuththegama-meeting

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් තඹුත්තේගම ප්‍රදේශයේ දී විශේෂ දේශපාලන හමුවක් ඊයේ දින පවත්වන ලදී. කලාවැව ආසනයේ පක්ෂ නියෝජිතයන් සඳහා පත්වීම් ලිපි ප්‍රදානය කිරීම මූලික අරමුණ කරගත් මෙම ජන හමුව සඳහා එම පක්ෂයේ ආධාරකරුවන් විශාල පිරිසක් සහභාගී වී සිටි අයුරු දැකගත හැකි විය.




මෙම දේශපාලන වේදිකාවේදී පැමිණ සිටි පිරිසගේ වැඩි අවධානයක් යොමු වූයේ හාස්‍ය රසය මුසු වූ රංගනයක් වෙතය. එහිදී මෑතකදී ආන්දෝලනයට තුඩු දුන් 'මිහින්තලේ වනචරයා' යනුවෙන් හිමිනමක් විසින් අමතනු ලැබූ ජාතික ජන බලවේගයේ අමාත්‍ය ලාල් කාන්ත මහතාගේ ස්වරුපයට සමාන වෙස් මුහුණක් පැළඳගත් පුද්ගලයෙකු වේදිකාවට පැමිණ විරෝධය පළ කරන ආකාරයේ අංගයක් ඉදිරිපත් කර තිබුණි. හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන තිස්ස කුට්ටිආරච්චි සහ සංජීව එදිරිමාන්න ඇතුළු පක්ෂයේ ප්‍රබල ක්‍රියාකාරීන් රැසක්ද ලක්ෂ්මන් යාපා අබේවර්ධන හිටපු ඇමතිවරයාද මෙම අවස්ථාවට එක්ව සිටියහ.

කෙසේ වෙතත්, මෙම රැස්වීමට පෙර දින, එනම් 16 වනදා රාත්‍රියේ උණුසුම් තත්ත්වයක් හටගෙන තිබුණේ සැරසිලි කටයුතු මුල් කරගෙනය. තඹුත්තේගම නගරයේ පක්ෂ කොඩි සහ සැරසිලි සිදුකරමින් සිටි පිරිසකට පොලීසියේ උසස් නිලධාරියෙකු ඇතුළු කණ්ඩායමක් පැමිණ බාධා එල්ල කර තිබූ අතර, එම සැරසිලි වහාම ඉවත් කරන ලෙස දැනුම් දීමත් සමඟ දෙපාර්ශවය අතර වචන හුවමාරුවක් සිදු වී තිබේ. එහිදී එම ස්ථානයේ සිටි පිරිස සැරසිලි ඉවත් කිරීමට හේතු විමසූ විට පොලිස් නිලධාරියා පවසා ඇත්තේ නගරය තුළ කොඩි දැමීම සඳහා නීතිමය අවසරයක් ලබාගෙන නොමැති බවයි.




මෙම සිදුවීම සම්බන්ධයෙන් අදහස් දැක්වූ සැරසිලි කරමින් සිටි පාක්ෂිකයින් ප්‍රශ්න කර සිටියේ වර්තමානයේ රට තුළ නීති දෙකක් ක්‍රියාත්මක වන්නේද යන්න සහ ආණ්ඩුවේ දේශපාලන බලපෑම් මත පොලිසිය මෙම බාධා කිරීම් සිදු කරන්නේද යන්නයි. මේ පිළිබඳව අදහස් දක්වමින් පක්ෂ මහලේකම් සාගර කාරියවසම් මහතා කියා සිටියේ, මැතිවරණයක් ප්‍රකාශයට පත් කර නොමැති අවස්ථාවක දේශපාලන පක්ෂ කොඩි ප්‍රදර්ශනය කිරීමට නීතිමය බාධාවක් නොමැති බවත්, රජය තමන්ට බිය වී පොලිසිය යොදවා මෙම කටයුතු අඩපණ කිරීමට උත්සාහ කරන බවත්ය.

රැස්වීමෙන් අනතුරුව සිය නිල ට්විටර් ගිණුමේ සටහනක් තබමින් නාමල් රාජපක්ෂ මහතා ප්‍රකාශ කළේ තමන් තඹුත්තේගම වෙත පැමිණියේ වෛරය පැතිරවීමට නොවන බවත්, තම පක්ෂය සංස්කෘතික උරුමයන් ආරක්ෂා කරමින් සියලු ප්‍රජාවන්ට ගරු කරන දේශපාලන ගමනක් යන බවත්ය. එසේම අනුරාධපුර දිස්ත්‍රික්කයේ බිම් මට්ටමේ නායකත්වය ශක්තිමත් කිරීම සඳහා මෙම පත්වීම් ප්‍රදානය සිදු කළ බව ඔහු වැඩිදුරටත් සඳහන් කළේය.



කෙසේ වෙතත්, මෙම රැස්වීම පිළිබඳව සමාජ මාධ්‍ය ඔස්සේ පළ වූ වීඩියෝ දර්ශන සහ ඡායාරූප සඳහා ජනතාවගෙන් එල්ල වී තිබුණේ දැඩි විවේචනාත්මක ප්‍රතිචාරයකි. බොහෝ දෙනෙකු චෝදනා කර තිබුණේ මෙම ජනකාය මුදල් ගෙවා වෙනත් ප්‍රදේශවලින් (Manpower) ගෙන්වා ගත් පිරිසක් බවත්, කළුතර සහ පුත්තලම වැනි දුර බැහැර ප්‍රදේශවලින් බස් රථ මගින් පිරිස් රැගෙන ආ බවත්ය. රටේ බහුතර ජනතාව ප්‍රතික්ෂේප කර තිබියදීත් යළිත් මෙවැනි දේශපාලන රැස්වීම් පැවැත්වීම විහිළුවක් බව පවසමින් බොහෝ සමාජ මාධ්‍ය පරිශීලකයින් ඊට දැඩි දෝෂාරෝපණ එල්ල කර තිබුණි.

gossiplanka image