news-2025-12-31-200502

බ්‍රිතාන්‍ය රජය විසින් 2026 වසරේ ජනවාරි මාසයේ සිට ක්‍රියාත්මක වන පරිදි එරට ආගමන විගමන ක්‍රියාවලිය තුළ පුළුල් ප්‍රතිසංස්කරණ සිදු කිරීමට තීරණය කර තිබේ. රට තුළට පැමිණෙන සංක්‍රමණිකයන්ගේ සමස්ත සංඛ්‍යාව (Net Migration) පාලනය කිරීම සහ අඩු කිරීම මෙම නව නීති හඳුන්වා දීමේ මූලික අරමුණ බව බ්‍රිතාන්‍ය බලධාරීන් ප්‍රකාශ කර ඇත.




මෙම නව රෙගුලාසි යටතේ වීසා බලපත්‍ර ලබා ගැනීමේදී ඉංග්‍රීසි භාෂා ප්‍රවීණතාව සම්බන්ධයෙන් පැවති නීති දැඩි කර ඇති අතර, 2026 ජනවාරි 08 වැනිදා සිට රැකියා වීසා අපේක්ෂා කරන සියලුම දෙනා 'B2' මට්ටමේ (උසස් පෙළ මට්ටමට සමාන) ඉංග්‍රීසි දැනුමක් සනාථ කළ යුතුව ඇත. මීට පෙර මෙම අවශ්‍යතාවය පැවතියේ 'B1' මට්ටමේ වූ අතර, මෙම වෙනස හේතුවෙන් උපාධිධාරීන්, නිපුණ ශ්‍රමික වීසා (Skilled Worker Visa) සහ 'Scale-up' වීසා සඳහා අයදුම් කරන්නන්ට දැඩි බලපෑමක් එල්ල වනු ඇත.

කෙසේ වෙතත්, දැනටමත් වීසා බලපත්‍ර ලබාගෙන බ්‍රිතාන්‍යයේ රැඳී සිටින පුද්ගලයින් තම වීසා කාලය දීර්ඝ කර ගැනීමේදී (Extension) මෙම නව භාෂා නීතිය අදාළ නොවන බව රජය දැනුම් දී තිබේ.




බ්‍රිතාන්‍යයේ ස්ථිර පදිංචිය හෙවත් 'Indefinite Leave to Remain' (ILR) ලබා ගැනීම සඳහා සම්පූර්ණ කළ යුතු කාලසීමාව සම්බන්ධයෙන් ද තීරණාත්මක වෙනස්කම් සිදු කර ඇති අතර, ඒ සඳහා මීට පෙර පැවති වසර 5ක සුදුසුකම් ලැබීමේ කාලය වසර 10ක් දක්වා දීර්ඝ කර ඇත. ඇතැම් විශේෂිත අවස්ථාවලදී ස්ථිර පදිංචිය ලබා ගැනීම සඳහා වසර 20ක් දක්වා බලා සිටීමට සිදුවන තත්ත්වයක් ද උද්ගතව තිබේ.

විශේෂයෙන් රජයේ සමාජ සුබසාධන ප්‍රතිලාභ මාස 12කට අඩු කාලයක් ලබාගත් පුද්ගලයින් ස්ථිර පදිංචිය සඳහා වසර 15ක් ද, දීර්ඝකාලීන ප්‍රතිලාභ ලැබූවන් වසර 20ක් ද බලා සිටිය යුතු අතර, Brexit ක්‍රියාවලියට පෙර සෞඛ්‍ය සහ සාත්තු සේවක වීසා ලබාගත් පිරිස්වලට ද ස්ථිර පදිංචිය සඳහා පැවති වසර 5ක කාලය වසර 15 දක්වා දීර්ඝ වී ඇත.



බ්‍රිතාන්‍යයට පැමිණෙන පුද්ගලයින් එරට භාෂාව ඉගෙන ගෙන සමාජයට යහපත් දායකත්වයක් ලබා දිය යුතු බව ස්වදේශ කටයුතු ලේකම් ශබානා මහමුද් අවධාරණය කර ඇති අතර, 2021 වසරේ සිට බ්‍රිතාන්‍යයට පැමිණ ඇති මිලියන 2.6කට ආසන්න සංක්‍රමණිකයන් පිරිසකට මෙම නව නීති වෙනස්කම්වල බලපෑම එල්ල වනු ඇතැයි ගණන් බලා තිබේ.