mcdonalds-chain-acquires-dinemore

ශ්‍රී ලංකාවේ සුප්‍රකට ක්ෂණික ආහාර ආයතනයක් වන ඩයින්මෝර් (Dinemore) සමාගම විසින් දිවයින පුරා මින් පෙර පිහිටුවා තිබූ මැක්ඩොනල්ඩ්ස් (McDonald's) අවන්හල් ජාලයේ ස්ථාන අත්පත් කර ගනිමින් 'DinemoreGo' නමින් නව සංකල්පයකට අනුව සිය ව්‍යාපාර කටයුතු පුළුල් කිරීමට පියවර ගෙන තිබේ. මැක්ඩොනල්ඩ්ස් ආයතනය මෙරට ව්‍යාපාරික කටයුතු නිල වශයෙන් 2024 මාර්තු මස අවසන් කිරීමත් සමඟ ඇති වූ නීතිමය එකඟතාවලින් අනතුරුව, එම අවන්හල් පිහිටා තිබූ ස්ථාන පාළුවට ගොස් තිබූ අතර ඒවා වසාදමා තිබුණ නමුත් වෙනත් වයාපාර අරඹා තිබුනේ නැත.

කෙසේ වෙතත් පසුගිය 2025 වසරේ අග භාගයේ එම ස්ථාන 14 ඩයින්මෝර් සමාගම සතු කරගෙන ඇති බව වාර්තා වේ. මේ වනවිට එම කිහිපයක් නව සන්නාමය යටතේ ආරම්භ කර ඇත. මෙම නව පියවර හරහා ඩයින්මෝර් ආයතනය සිය සුප්‍රකට සබ්මැරින් (Submarine) මෙනුවට අමතරව වේගවත් සේවාවක් සහ වඩාත් දැරිය හැකි මිල ගණන් සහිත නව ආහාර අත්දැකීමක් පාරිභෝගිකයන් වෙත හඳුන්වා දීමට සූදානම් වෙයි.




මෙම ව්‍යාපාරික වෙනස පිළිබඳව අදහස් දක්වන පාරිභෝගිකයන් පිරිසක් පවසන්නේ මැක්ඩොනල්ඩ්ස් සන්නාමය යටතේ මෙතෙක් අලෙවි වූ ෆ්‍රෙන්ච් ෆ්‍රයිස් සහ බර්ගර් වර්ගවල ගුණාත්මක භාවය එලෙසම පවතිනු ඇතැයි තමන් බලාපොරොත්තු වන බවයි. කෙසේ වෙතත්, ඩයින්මෝර් හිමිකරුවන් අවධාරණය කරන්නේ මෙය මැක්ඩොනල්ඩ්ස් මෙනුව එලෙසම කොපි කිරීමක් නොව, දේශීය පාරිභෝගික රුචිකත්වයට ගැළපෙන පරිදි වැඩිදියුණු කරන ලද නව මෙනුවක් සහිත දේශීය සන්නාමයක් වනු ඇති බවයි. ඇතැම් පාරිභෝගිකයන් ඩයින්මෝර් ආයතනයේ ආහාරවල ගුණාත්මකභාවය මෑත කාලයේදී තරමක් පහළ ගොස් ඇති බවට සමාජ මාධ්‍ය හරහා චෝදනා එල්ල කළද, නව වැඩපිළිවෙළ යටතේ එම අඩුපාඩු මඟහරවා ගනිමින් ජාත්‍යන්තර ප්‍රමිතියට අනුව සේවා සැපයීමට කළමනාකාරිත්වය අරමුණු කරයි.

විශේෂයෙන්ම 90 දශකයේ අගභාගයේදී මෙරටට හඳුන්වා දුන් මැක්ඩොනල්ඩ්ස් සන්නාමය සමඟ බැඳී තිබූ ළමා සෙල්ලම් බඩු සහ හැපී මීල් (Happy Meal) වැනි මතකයන් පාරිභෝගිකයන් අතර තවමත් පවතින අතර, එම රික්තය පිරවීමට දේශීය සන්නාමයකට හැකි වේද යන්න පිළිබඳව විවිධ කතිකාවන් නිර්මාණය වී ඇත. මැක්ඩොනල්ඩ්ස් ආයතනය සිය දේශීය නියෝජිතයා වූ අබාන්ස් (Abans) සමාගම සමඟ ඇති කරගත් නීතිමය ගැටලු හේතුවෙන් මෙරටින් ඉවත් වීමට තීරණය කළ අතර, දැන් එම වටිනා ව්‍යාපාරික ස්ථාන ඩයින්මෝර් සතු වීම මෙරට ක්ෂණික ආහාර ක්ෂේත්‍රයේ විශාල පෙරළියක් වනු ඇතැයි ව්‍යාපාරික ක්ෂේත්‍රයේ විචාරකයෝ විශ්වාසය පළ කරති.




මෙම නව වෙළඳ සැල් ආරම්භ කිරීමත් සමඟ දේශීය සන්නාම ශක්තිමත් කිරීමට වැඩි ඉඩක් ලැබෙන බව පවසන බොහෝ දෙනා, විදේශීය සන්නාම මතම යැපීම වෙනුවට ඩයින්මෝර් වැනි දේශීය ආයතන ලෝක ප්‍රමිතියට ඔසවා තැබීමට සහයෝගය දිය යුතු බවද පෙන්වා දෙති. නව 'DinemoreGo' අවන්හල් හරහා මැක්ඩොනල්ඩ්ස් සතු වූ වේගවත් සේවා සැපයීමේ ක්‍රමවේදයත්, ඩයින්මෝර් සතු සුවිශේෂී දේශීය රසයත් මුසු කරමින් ඉදිරි කාලයේදී ශ්‍රී ලංකාවේ ප්‍රධාන නගර රැසක මෙම සේවාව ක්‍රියාත්මක කිරීමට ඩයින්මෝර් සමාගම මේ වන විට කටයුතු සූදානම් කරමින් සිටී.

මේ අතර පසුගියදා වාර්තාවූයේ ලෝක ප්‍රකට මැක්ඩොනල්ඩ්ස් සමාගම නැවත ශ්‍රී ලංකාවේ ව්‍යාපාර ආරම්භ කිරීම ගැන සලකා බලමින් සිටින බවයි. ඔවුන් නැවත පැමිණියොත් ඔවුන්ට සිය සේවා ස්ථාන ආරම්භ කරන්නට සිදුවන්නේ වෙනත් ස්ථාන වලය.