වසර හතක් තිස්සේ පාසල්වල ඉගැන්වීමේ නිරතව සිටින තමන් ගුරු සේවයට ඇතුළත් කිරීම සඳහා රජය මගින් යෝජනා කර ඇති සාම්ප්‍රදායික තරග විභාගය ප්‍රතික්‍ෂේප කරන බව කොළඹ කොටුව ජනාධිපති ලේකම් කාර්යාලය ඉදිරිපිට සිව්වන දිනට මාරාන්තික උපවාසයේ නිරත ගුරු සංවර්ධන නිලධාරීහු පවසා ඇති අතර තරග විභාගය වෙනුවට පැවැත්වෙන ඕනෑම ප්‍රායෝගික පරීක්‍ෂණයකට මුහුණ දීමට තමන් සූදානම් බවත් පවසා තිබේ. තමන් ගුරු සේවයට අනුයුක්ත කරන ලෙස ඉල්ලා මෙම ගුරු සංවර්ධන නිලධාරීන් ජනාධිපති ලේකම් කාර්යාලය ඉදිරිපිට ආරම්භ කළ මාරාන්තික උපවාසයට ඊයේට දින 04 ක් ගතවී ඇත.
උපවාස භූමිය අවට පොලිස් ආරක්‍ෂාව යොදවා ඇති අතර උපවාසයේ නිරත වූ එක් නිලධාරිනියක් හදිසියේ රෝගීවීම නිසා පසුගියදා (26දා) කොළඹ ජාතික රෝහලටද ඇතුළත් කර ඇත. දින 04ක් පුරා පවත්වන මාරාන්තික උපවාසය සම්බන්ධයෙන් සමාජ මාධ්‍ය ඔස්සේ දැඩි ජනතා විරෝධයක් සහ විවේචනයක් එල්ල වී තිබේ. මෙම ක්‍රියාමාර්ගය සම්බන්ධයෙන් ෆේස් බුක් ඔස්සේ අදහස් දක්වන බහුතරයක් දෙනා පෙන්වා දෙන්නේ සුදුසුකම් සපුරා ඇත්නම් විභාගවලට බිය නොවී නියමිත ක්‍රමවේදය ඔස්සේ ගුරු සේවයට එක්විය යුතු බවයි.විශේෂයෙන්ම තමන් උපාධිධාරීන් නම් තරග විභාගයකට මුහුණ දීමට බිය වන්නේ මන්දැයි බොහෝ දෙනා ප්‍රශ්න කර සිටිති. ගුරු වෘත්තියට අදාළ සේවා ව්‍යවස්ථාවක් පවතින බවත්, තරග විභාග සමත් වී කුසලතාව මත පත්වීම් ලබා ගැනීම වෙනුවට බලහත්කාරයෙන් සහ පෝස්ටර් ප්‍රදර්ශනය කරමින් රැකියා ඉල්ලා සිටීම නුසුදුසු බවත් ජනතාව පෙන්වා දෙයි. විභාගයකට මුහුණ දී එය සමත් වීමට නොහැකි පිරිසක් පාසල් දරුවන්ට අධ්‍යාපනය ලබා දෙන්නේ කෙසේද යන්න පිළිබඳව ද සමාජ මාධ්‍ය පරිශීලකයින් සිය සැකය පළ කර ඇති අතර, විභාගවලට ඇති බිය නිසා මෙම පිරිස දරුවන්ගේ අනාගතය භාර ගැනීමට නුසුදුස්සන් බවට ද ඇතැමුන් චෝදනා නගයි.
දින හතරක් තිස්සේ මාරාන්තික උපවාසයක නිරත වන බව පැවසුවද, එය විශ්වාස කළ නොහැකි බවත් හොර රහසේ ආහාර ලබා ගනිමින් ජනතාව නොමග යවන බවටත් විවිධ පාර්ශවයන්ගෙන් චෝදනා එල්ල වේ. උපවාසය අතරතුර රෝගී වී රෝහල් ගත වීම උපක්‍රමයක් බවත්, සැබවින්ම මාරාන්තික උපවාසයක් සිදු කරන්නේ නම් දින ගණනාවක් ජලය සහ ආහාර නොමැතිව සිටිය නොහැකි බවත් පවසමින් මෙම ක්‍රියාමාර්ගය සමච්චලයට ලක් කරන පිරිසක් ද දක්නට ලැබේ. මෙවැනි අයට රෝහල් පහසුකම් ලබා දීම පවා අනවශ්‍ය බවටත්, ඔවුන් මිය ගියත් ඊට රජය වගකිව යුතු නැති බවටත් ඉතා දැඩි සහ රළු අදහස් පවා ඇතැම් සමාජ මාධ්‍ය ප්‍රතිචාරවල සටහන්ව තිබේ.
මෙම පිරිස පසුගිය රජයන් සමයේ දේශපාලන හිතවත්කම් මත හෝ අවිධිමත් ලෙස බඳවා ගත් පිරිසක් බවට ද සමාජ මාධ්‍ය හරහා අදහස් පළ වේ. විවිධ දේශපාලනඥයින්ගේ ලිපි මගින් රැකියා ලබා ගත් පිරිසක් බැවින් මොවුන් විභාග සමත් වීමේ හැකියාවක් නොමැති අය බවට ජනතාව චෝදනා කරති. දැනටමත් තරග විභාග පවත්වා බඳවා ගැනීම් සිදු කිරීමට රජය සූදානම්ව සිටියදී, මෙලෙස පාරවල් අවහිර කරමින් සිදු කරන විරෝධතා මගින් ඵලක් නොවන බවත්, වත්මන් රජය හෝ පෙර පැවති රජයන් දෝෂ දර්ශනයට ලක් කරනවාට වඩා තම දක්ෂතාවය පෙන්වා රැකියාව ස්ථිර කරගත යුතු බවත් ඔවුහු අවධාරණය කරති.
මහමග උපවාස කරමින් කාලය කා දමනවාට වඩා එම කාලය අධ්‍යයන කටයුතු සඳහා යොදවා ගුරු විභාගය සමත් වීමට උත්සාහ කළ යුතුව තිබූ බව බොහෝ දෙනාගේ අදහසයි. නිසි ක්‍රමවේදයෙන් බැහැරව පත්වීම් ලබා දීම සිදු කළහොත් එය විභාග සමත් වී පත්වීම් බලාපොරොත්තුවෙන් සිටින සෙසු උපාධිධාරීන්ට කරන විශාල අසාධාරණයක් බව ද ජනතාව පෙන්වා දෙයි. මෙම උපවාසය නිරර්ථක ක්‍රියාවක් බවත්, වහාම මෙය අතහැර දමා තරග විභාග සඳහා සූදානම් වන ලෙසත් උපදෙස් දෙන ජනතාව, එසේ නොහැකි නම් වෙනත් වෘත්තියක් සොයා ගන්නා ලෙසත් දන්වා සිටිති.
අනාගතයේදී කිසිදු හේතුවක් මත තරග විභාගයකින් තොරව ගුරු සේවයට උපාධිධාරීන් අන්තර්ග්‍රහණය නොකරන බව අග්‍රාමාත්‍ය සහ අධ්‍යාපන අමාත්‍ය ආචාර්ය හරිණි අමරසූරිය පසුගිය සැප්තැම්බර් 05 පාර්ලිමේන්තුවේදී අවධාරණය කළාය.
මෙම තීරණය රාජ්‍ය සේවා කොමිසමේ නිර්දේශ සහ ශ්‍රේෂ්ඨාධිකරණයේ නඩු තීන්දු කිහිපයක් මත පදනම්ව ගනු ලැබූ බවත්, ගුරු සේවා ව්‍යවස්ථාවට අනුකූලව සියලුම පාර්ශ්වකරුවන්ගේ එකඟතාව මත මෙය ක්‍රියාත්මක වන බවත් ඇය පැහැදිලි කළාය.
පාසල්වල සේවය කරන සංවර්ධන නිලධාරීන් සෘජුව ගුරු සේවයට අන්තර්ග්‍රහණය කළ නොහැකි බවත් අධිකරණ තීන්දු හා ගුරු සේවා ව්‍යවස්ථාව අනුව ඔවුන් තරඟ විභාගයට මුහුණ දී ගුරු සේවයට ඇතුලත් විය යුතු බවත් ඇය සඳහන් කළාය.