mahinda-invites-anura-join-slpp

පොදුජන එක්සත් පෙරමුණේ නායක, හිටපු අමාත්‍ය අනුර ප්‍රියදර්ශන යාපා මහතාට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට (පොහොට්ටුව) එකතු වන ලෙස හිටපු ජනාධිපති මහින්ද රාප්පක්‍ෂ මහතා ආරාධනා කළ බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මහ ලේකම් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී නීතිඥ සාගර කාරියවසම් මහතා පෙරේදා (6) පැවසීය. මහින්ද රාජපක්‍ෂ මහතාගේ නුගේගොඩ නිවසේ (5) වැනිදා රාත්‍රී පැවැති භෝජන සංග්‍රහයේ දී එම ආරාධනය කළ බවත් හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා කළ එම ආරාධනයට අනුර ප්‍රියදර්ශන යාපා මහතාගෙන් සුබදායි පිළිතුරක් ලැබෙනු ඇතැයි විශ්වාස කරන බවත් කාරියවසම් මහතා කීය.




"අනුරත් දැන් අපිත් එක්ක එකතු වෙන්න. අපි එකට හිටපු අයනේ. අපි එකට ඉන්න කාලයේ රටට ගොඩක් වැඩ කළා. අපි එකට ඉදගෙන ත්‍රස්තවාදයෙන් බේරාගත් රට අපි වෙන්වුණාම විනාශ වෙනවා” යැයි එහිදී හිටපු ජනාධිපතිවරයා පැවසූ බව කී කාරියවසම් මහතා පැවසුවේ තමන් සහ පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්‍ෂ මහතා ද අනුර ප්‍රියදර්ශන යාපා මහතාට පොහොටුව්වට එකතු වන ලෙස කාලයක සිට ආරාධනා කරන බවත්ය.

හිටපු කථානායකවරුන් වන, චමල් රාජපක්‍ෂ සහ මහින්ද යාපා අබේවර්ධන, හිටපු අමාත්‍ය වෛද්‍ය රමේෂ් පතිරණ සහ හිටපු නියෝජ්‍ය කථානායක අජිත් රාජපක්‍ෂ යන මහත්වරුන් ඇතුළු විශාල පිරිසක් එම අවස්ථාවට සහභාගි වී සිටියහ.