sarah-jasmine-is-still-alive-dna-evidence-presented-by-sarath-weerasekara-that-she-is-dead-is-questionable

පාස්කු ඉරිදා බෝම්බ ප්‍රහාරයට සම්බන්ධ සහරාන් හෂීම්ගේ කණ්ඩායමේ ප්‍රබල සාමාජිකාවක වූ පුලස්තිනි මහේන්ද්‍රන් හෙවත් සාරා ජස්මින් නමැත්තිය අත්අඩංගුවට ගැනීම සඳහා අවශ්‍යතාවයක් මතු වුවහොත් අනාගතයේදී වරෙන්තුවක් ලබා ගැනීමට කටයුතු කරන බව මහජන ආරක්ෂක අමාත්‍ය ආනන්ද විජේපාල මහතා පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළේය. ඇය මියගොස් නොමැති බවට විමර්ශන අංශ වෙත යම් යම් තොරතුරු ලැබී ඇතත්, ඇය මේ වන විට ඉන්දියාවේ රැඳී සිටින බවට කිසිදු නිශ්චිත තොරතුරක් ලැබී නොමැති බව අමාත්‍යවරයා එහිදී අවධාරණය කළේය.

මහජන ආරක්ෂක අමාත්‍යවරයා මෙම කරුණු අනාවරණය කළේ ඊයේ (07) පාර්ලිමේන්තුවේදී සමගි ජන බලවේගයේ කොළඹ දිස්ත්‍රික් මන්ත්‍රී මුජිබර් රහුමාන් මහතා විසින් යොමු කරන ලද ප්‍රශ්නයකට පිළිතුරු ලබා දෙමිනි.




සහරාන්ගේ කණ්ඩායමේ සාමාජිකාවක වූ සාරා ජස්මින් මියගොස් නොමැති බවත්, ඇයට පලා යෑම සඳහා යම් කණ්ඩායමක් ආධාර අනුබල ලබා දී ඇති බවත් රහුමාන් මන්ත්‍රීවරයා මෙහිදී පෙන්වා දුන්නේය. පසුගිය කාලයේ සිදු කළ ඩී.එන්.ඒ. පරීක්ෂණවල ගැටලු සහගත තත්ත්වයක් පැවති බව සිහිපත් කළ මන්ත්‍රීවරයා, වත්මන් ආණ්ඩුවේ අමාත්‍යවරුන් පවා විපක්ෂයේ සිටියදී ඇය ඉන්දියාවේ සිටින බවට ප්‍රකාශ කළ බවත් සඳහන් කළේය. විදේශගතව සිටින පාතාල සාමාජිකයන් මෙරටට ගෙන්වා ගැනීමට විවෘත වරෙන්තු ලබා ගන්නා ආකාරයට, වත්මන් රජය බලයට පත්ව වසරක් ගතවී තිබියදීත් සාරා ජස්මින් සම්බන්ධයෙන් ජාත්‍යන්තර වරෙන්තුවක් ලබා නොගන්නේ මන්දැයි මන්ත්‍රීවරයා රජයෙන් ප්‍රශ්න කර සිටියේය.

මීට පිළිතුරු ලබා දෙමින් මහජන ආරක්ෂක අමාත්‍යවරයා සඳහන් කළේ පාස්කු ප්‍රහාරය පිටුපස ඇති කුමන්ත්‍රණය සම්බන්ධයෙන් නව රජය යටතේ මේ වන විට ඉතා ගැඹුරු සහ පුළුල් විමර්ශනයක් ක්‍රියාත්මක වෙමින් පවතින බවයි. සාරා ජස්මින් මියගොස් නොමැති බවට තොරතුරු ලැබී තිබුණද ඇය සිටින ස්ථානයක් පිළිබඳව නිශ්චිතව තහවුරු වී නොමැති බැවින් දිගින් දිගටම පරීක්ෂණ පවත්වන බවත්, අධිකරණ ක්‍රියාමාර්ග ද ගෙන ඇති බවත් හෙතෙම පැහැදිලි කළේය. විමර්ශන කටයුතු ආරක්ෂා කරගැනීම සඳහා ඇතැම් කරුණු මේ මොහොතේ හෙළි කිරීමට සූදානම් නැති බව පැවසූ අමාත්‍යවරයා, අවශ්‍ය මොහොතක අදාළ වරෙන්තුව ලබා ගැනීමට කටයුතු කරන බව වැඩිදුරටත් කියා සිටියේය.




මින් ඉහත පසුගිය ජූලි මාසයේදීද මේ සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවේ කරුණු පළ විය. සයින්දමරුදු ප්‍රදේශයේදී 2019 වසරේ සිදුවූ බෝම්බ පිපිරීමෙන් පුලස්තිනී මහේන්ද්‍රන් හෙවත් සාරා ජස්මින් මියගිය බවට මෙතෙක් පැවති පිළිගැනීම, බරපතල සැකයකට භාජනය වී ඇති බව මහජන ආරක්ෂක අමාත්‍යවරයා එවක පාර්ලිමේන්තුවේදී අනාවරණය කළේය. එම මරණය තහවුරු කිරීමට යොදාගත් DNA පරීක්ෂණ වාර්තාව සම්බන්ධයෙන් බරපතල සැක කටයුතු තොරතුරු විමර්ශනවලදී හෙළිවී ඇති බව ඔහු පෙන්වා දුන්නේය.

අමාත්‍යවරයාට අනුව, සාරා ජස්මින්ගේ යැයි සැලකෙන ශරීර කොටස් සම්බන්ධයෙන් සිදුකළ මුල් DNA පරීක්ෂණ දෙකේදීම ඇයගේ සමීපතම ඥාතීන්ගේ DNA සාම්පල සමග ගැළපීමක් සිදුවී නොමැත. එහෙත්, හිටපු මහජන ආරක්ෂක අමාත්‍ය සරත් වීරසේකර මහතාගේ මැදිහත්වීම මත ලබාගත් තෙවන DNA වාර්තාවක් මගින් ඇය මියගිය බවට සහතික කිරීමට උත්සාහ දරා ඇති බවට චෝදනා එල්ල වී තිබේ. මෙම DNA සාම්පල ලබා ගැනීම සහ පරීක්ෂාව සිදුකළ ආකාරය දැඩි සැකයට තුඩු දී ඇති බැවින්, අදාළ කරුණු නිසි අවස්ථාවේදී අධිකරණයට ඉදිරිපත් කරන බවද අමාත්‍යවරයා සඳහන් කළේය.



මෙම කරුණු හෙළිදරව් වූයේ පාස්කු ඉරිදා ප්‍රහාරය සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවේ පැවති කල්තැබීමේ විවාදයකදී මන්ත්‍රී මුජිබර් රහුමාන් මහතා විසින් ජූලි මාසයේදීද මේ ආකාරයට මතුකළ ප්‍රශ්නයකට පිළිතුරු වශයෙනි. සයින්දමරුදු පිපිරීම සිදුවන අවස්ථාවේ සාරා ජස්මින් එම ස්ථානයෙන් නිරුපද්‍රිතව පිටව ගිය බවට තොරතුරු පවතින බවත්, ඒ පිළිබඳව එවකට නැගෙනහිර පළාත් ආඥාපති ලෙස කටයුතු කළ වත්මන් ආරක්ෂක නියෝජ්‍ය අමාත්‍ය අරුණ ජයසේකර මහතා යටතේ සිටි මේජර්වරයෙකුගෙන් ප්‍රශ්න කිරීමෙන් සත්‍යය අනාවරණය කරගත හැකි බවත් මුජිබර් රහුමාන් මහතා එහිදී අවධාරණය කළේය.

සාරා ජස්මින් මියගිය බවට තහවුරු කිරීමට පසුගිය රජයට පැවති අවශ්‍යතාව මත, මතභේදාත්මක තෙවන DNA වාර්තාව ලබාගැනීම සඳහා එවකට පොලිස්පති චන්දන වික්‍රමරත්න මහතා තවත් පුද්ගලයෙකු සමග ගිය බවද, එම අනෙක් පුද්ගලයා කවුරුන්දැයි පොලිස්පතිවරයාගෙන් විමසා දැනගත හැකි බවද මන්ත්‍රීවරයා වැඩිදුරටත් කියා සිටියේය. මේ වන විට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මෙම සිදුවීම සම්බන්ධයෙන් ගැඹුරු විමර්ශනයක් ආරම්භ කර ඇත.

විවාදයට පිළිතුරු ලබාදුන් ආරක්ෂක නියෝජ්‍ය අමාත්‍ය අරුණ ජයසේකර මහතා, පාස්කු ප්‍රහාරය පිටුපස බුද්ධි අංශවල ඉතා කුඩා කණ්ඩායමක් සිටි බව පිළිගත් නමුත්, බුද්ධි අංශයේ අති බහුතරය ඊට සම්බන්ධ නොමැති බව අවධාරණය කළේය. සයින්දමරුදු සිදුවීම වන විට තමා නැගෙනහිර පළාතේ යුද හමුදා ආඥාපතිවරයා ලෙස කටයුතු කළ බව පිළිගත් ඔහු, මේ සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැය හයකට අධික කාලයක් ප්‍රකාශයක් ලබාදුන් බවද ඒ දිනවල සභාවට දන්වා සිටියේය.



gossiplanka image 2


gossiplanka image 3
gossiplanka image 4