අගලවත්ත, මිගිහින්වත්තේ විසූ විසි හැවිරිදි ළාබාල වියේ පසු වූ දක්ෂ වෙදැදුරුවරියකගේ හදිසි වියෝව මුළු ප්‍රදේශයම කම්පනයට පත් කළ සිදුවීමක් බවට පත්ව තිබේ. "චූටි වෙද හාමිනේ" යන ආදරණීය නාමයෙන් ප්‍රසිද්ධව සිටි ඇය සර්ප දෂ්ටනයට ලක්වූ බොහෝ දෙනෙකුට ජීවිතය දානය කළ තැනැත්තියකි.
මීගහතැන්න, පොල්ගම්පළ ඇතුළු දිවයිනේ නන් දෙසින් පැමිණෙන රෝගීන් සුවපත් කළ සුප්‍රසිද්ධ සර්ප විෂ වෛද්‍ය සමරසිංහ වෙද මහතා ඇගේ මුත්තණුවන් වූ අතර, සියක් ආයු ලබා මියගිය මුත්තණුවන්ගේ අභාවයෙන් පසුව එම පාරම්පරික වෙදකම ඉදිරියට ගෙන යාමේ වගකීම කරට ගෙන කටයුතු කළේ මෙම වෙද පරපුරේ අවසන් පුරුක වූ සඳුනි නිසංසලා ය.මද්දෙකන්ද තඹගිරි විහාරස්ථානයේ දහම් පාසල් ගුරුවරියක ලෙස ද සේවය කළ ඇය, වෙදකම ආරම්භ කළ කෙටි කලකින්ම ප්‍රදේශවාසීන්ගේ ගෞරවයට පාත්‍ර වූවාය. කෙසේ වෙතත්, ඇගේ එක් ඇසක් රත් පැහැ ගැන්වී තිබෙනු දුටු තඹගිරි විහාරාධිපති පන්දෙණියේ රේවත හිමියන් කළ දැනුම් දීමකට අනුව පසුගිය දෙසැම්බර් මාසයේ දී ඇය සිය මව සමඟ කොළඹ අක්ෂි රෝහල වෙත ගොස් තිබිණි. එහිදී සිදු කළ පරීක්ෂණවලින් අනතුරුව වෛද්‍ය උපදෙස් මත ඇයව නේවාසිකව ප්‍රතිකාර සඳහා ඇතුළත් කරගෙන ඇත.
අක්ෂි රෝහලෙන් ජාතික රෝහලටත්, අනතුරුව හෘද ඒකකයටත් මාරු කර යැවුණු ඇය එහි දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටියදී වෛද්‍යවරුන් පවසා තිබුණේ ඇගේ හදවතින් සියයට හතළිහක් පමණ අක්‍රිය වී ඇති බවයි. රෝහල්ගත වී හරියටම මසක් පමණ ගත වූ තැන ජනවාරි 08 වැනිදා රාත්‍රියේ සිව් දෙනෙකුගේ කර මතින් ඇය නැවත නිවසට පැමිණියේ ඇගේ සුවය පැතූ මව්පියන් සහ ඥාති හිතවතුන් සදාකාලික ශෝකයේ ගිල්වමිනි.
රෝහල්ගත වීමට නිවසින් පිටත්ව යන මොහොතේ පවා නිවසට පැමිණි රෝගියෙකුට බෙහෙත් ලබා දී ඇය පිටත්ව ගිය බව මව වන රංජනී සේනාරත්න මහත්මිය සංවේදීව සිහිපත් කළාය. වයස අවුරුදු හයේ සිට සීයා ළඟ රැඳෙමින් වෙදකම ප්‍රගුණ කළ ඇය සීයාගේ වියෝවෙන් පසුව ද නොකඩවා එම සේවය ඉටු කළ බවත්, අසනීප වන දිනය දක්වාම වෙදකමේ නිරත වූ බවත් මව පැවසුවාය. ඇගේ නැන්දා වන ස්වර්ණා රංජනී මහත්මිය සඳහන් කළේ හිස කකියන බවත් ඇස රත් පැහැ වී ඇති බවත් පැවසූ දියණිය හදිසියේම මෙසේ අහිමි වූ බවයි.
ඇය සතුව තිබූ දක්ෂතාවය පිළිබඳව අදහස් දැක්වූ ඥාතියෙකු වූ තුෂාර සමරසිංහ මහතා, මතුගම හොරවල ප්‍රදේශයෙන් ගෙන ආ රෝගියෙකු දෂ්ට කළ සර්පයා අල්ලා ගැනීමට නොහැකි වුවද, සර්පයාගේ වලිගයේ කොටසක් පමණක් දැක සතා හඳුනාගෙන නිවැරදිව වෙදකම් කර රෝගියා සුවපත් කළ අයුරු සිහිපත් කළේය.
බොහෝ දෙනාගේ නෙත් කඳුළින් තෙත් කළ චූටි වෙද හාමිනේගේ දේහය පිළිබඳ අවසන් කටයුතු ඉකුත් 10 වැනිදා සවස මළහිරු බැස යන යාමයේ පොල්ගම්පළ පවුලේ සුසාන භූමියේ පිහිටි ඇගේ සීයාගේ සොහොන අසලම සිදු කෙරිණි.
