it-is-revealed-in-court-that-the-two-men-caught-with-a-sniper-rifle-near-the-cid-office-are-commando-officers

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ඉදිරිපිටදී ස්නයිපර් වර්ගයේ ගිනි අවියක් සමඟ අත්අඩංගුවට ගත් සැකකරුවන් දෙදෙනා ශ්‍රී ලංකා යුද හමුදා කොමාන්ඩෝ රෙජිමේන්තුවට අනුයුක්ත නිලධාරීන් බව ශ්‍රී ලංකා යුද හමුදාව වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරයා අද කොටුව වැඩ බලන මහේස්ත්‍රාත් ලහිරු සිල්වා මහතා හමුවේ කරුණු අනාවරණය කළේය. මෙම නිලධාරීන් දෙදෙනා විශේෂ පුහුණුවක් සඳහා සහභාගී වී ආපසු පැමිණෙමින් සිටියදී මෙලෙස අත්අඩංගුවට පත්ව ඇති බවත්, ඔවුන් සතුව ගිනි අවි භාවිතය සඳහා නීත්‍යානුකූල අවසරයක් පවතින බවත් නීතිඥවරයා අධිකරණයට පෙන්වා දුන්නේය.




සිවිල් ඇඳුමින් සැරසී කළු පැහැති රෙද්දකින් ඔතන ලද ස්නයිපර් ගිනි අවියක් ද රැගෙන පැරණි පොලිස් මූලස්ථානය ඉදිරිපිට මාර්ගයේ ගමන් කරමින් සිටියදී මෙම නිලධාරීන් ඊයේ දිනයේදී අත්අඩංගුවට ගත් බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණයට දන්වා සිටියේය. එම අවස්ථාවේදී සැකකරුවන් සතුව ඔවුන්ගේ අනන්‍යතාව තහවුරු කිරීමට කිසිදු ලියවිල්ලක් නොතිබූ බව ද පොලිසිය අධිකරණය හමුවේ වැඩිදුරටත් සඳහන් කළේය.

කෙසේ වෙතත් දෙපාර්ශවය විසින් ඉදිරිපත් කරන ලද කරුණු සලකා බැලූ වැඩ බලන මහේස්ත්‍රාත්වරයා අදාළ සැකකාර යුද හමුදා නිලධාරීන් දෙදෙනා මුදා හරින ලෙස නියෝග කළේය. එසේම ඔවුන් අදාළ යුද හමුදා ඒකකයේ අණදෙන නිලධාරියා වෙත භාර දීමට පියවර ගන්නා ලෙස ද මහේස්ත්‍රාත්වරයා විසින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත නියෝග නිකුත් කරන ලදී.