the-little-doctor-left-without-telling-anyone

සර්ප දෂ්ටනවලට ලක්වූ රෝගීන්ට වෙදකම් කරමින් ජීවිත රැසක් සුවපත්කළ අගලවත්ත පොල්ගම්පළ රිදීවිට මිගිහින්වත්තේ විසූ (20) හැවිරිදි චූටි වෙද හාමිනේ හදිසි රෝගී තත්ත්වයක් හේතුවෙන් ඉකුත්දා (08) අකාලයේ ජීවිතයෙන් සමුගත්තාය.ඇය මිගිහින්වත්ත සමරසිංහ වෙද පරපුරේ මිනිපිරියක වූ දිය පත්තුගම විදානලාගේ සඳුනි නිසංසලාය.




මතුගම සාන්තමේරි මහා විද්‍යාලයෙන් උසස්පෙළ හැදෑරූ සඳුනි නිසංසලා සිය සීයාවූ සමරසිංහ සර්ප වෙද මහතාගේ වෙදකම් හමුවේ වයස අවුරුදු 06 සිට රෝගීන්ට උදව්පදව් කරමින් සර්ප වෙදකම ප්‍රගුණ කර තිබේ.සීයාගේ වියෝවෙන් පසු සර්ප වෙදකම තම දෑතට ගත් සඳුනි සර්ප දෂ්ටනයන්ට ලක්ව වරින්වර තම නිවස වෙත රැගෙන එන රෝගීන් විශාල පිරිසක් සුවපත්කර ජීවය ලබාදී තිබේ. ඒ හේතුවෙන් අගලවත්ත පොල්ගම්පළ ප්‍රදේශයේ ජනයා අතර ඇය චූටි වෙද හාමිනේ නමින් ජනප්‍රියත්වයට පත්වන්නට වැඩි කාලයක් ගත නොවූ බව ප්‍රදේශවාසීහු පවසති.

පසුගිය නොවැම්බර් මාසයේදී ඇයගේ ඇසක වූ අසනීපයකට ප්‍රතිකාර ගැනීම ආරම්භ වීමත් සමග පසුගියදා (08) කාටත් හොර රහසේ සිය දිවි ගමන නිමා කළාය.දශක දෙකක් තරම් වූ ඉතා කෙටි ජීවිත ගමන තුළ සර්ප විෂ ශරීරගත වූ සිය ගණනක් මිනිසුන් සුවපත් කළ ඇය මෙලොව හැර ගොස් ඇත්තේ අප කාටත් හොර රහසේ මරණයටද අවසන් තීරණයක් නොමැතිවය. ඇගේ වියෝව මව්පියන්, ඥාතීන් හිතවතුන් මෙන්ම ඇය පිළිබඳ තතු දන්න අයට හද කම්පා කරවන සිදුවීමක් විය.

news-2026-01-12-101005