it-girlfriend-who-posted-boyfriends-nude-photos-on-social-media

පැරණි පෙම්වතා සමඟ ඇති වූ අමනාපයක් හේතුවෙන් ඔහුගේ නිරුවත් ඡායාරූප සමාජ මාධ්‍ය වෙත මුදාහැරිය බව කියන පරිගණක ඉංජිනේරුවරියක් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මගින් අත්අඩංගුවට ගෙන තිබේ. යාපනය, කන්දර්මඩම් ප්‍රදේශයේ පදිංචි 25 හැවිරිදි වියේ පසුවන තරුණියක් මෙලෙස නීතියේ රැහැනට හසුවී ඇති අතර ඇය වෘත්තියෙන් පරිගණක ඉංජිනේරුවරියක් බව පොලිසිය තහවුරු කරයි.




යාපනය ප්‍රදේශයේම පදිංචි තරුණයෙකු විසින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ පරිගණක අපරාධ විමර්ශන කොට්ඨාසය වෙත කරන ලද පැමිණිල්ලකට අනුව මෙම විමර්ශනය ආරම්භ කර ඇත. තම පැරණි පෙම්වතිය විසින් වට්ස්ඇප් (WhatsApp) සමූහයක් හරහා තම නිරුවත් ඡායාරූප ප්‍රචාරය කර ඇති බවට අදාළ තරුණයා විසින් පැමිණිලි කර තිබූ අතර, එම පැමිණිල්ල පදනම් කරගෙන පරිගණක අපරාධ විමර්ශන කොට්ඨාසයේ උතුරු පළාත් ඒකකය විසින් පුළුල් පරීක්ෂණයක් දියත් කර තිබිණි.

එම විමර්ශනවලදී අනාවරණය වී ඇත්තේ අදාළ නිරුවත් ඡායාරූප අන්තර්ජාලයට මුදාහැර ඇත්තේ පැමිණිලිකරුගේ හිටපු පෙම්වතිය බවයි. මෙම දෙපළ අතර වසර පහළොවක පමණ දීර්ඝ කාලයක සිට ප්‍රේම සම්බන්ධතාවක් පැවත ඇති බවත්, මෑතකදී පෙම්වතා විසින් ඇයගෙන් වෙන්වීමට තීරණය කිරීමත් සමඟ සැකකාරිය දැඩි මානසික පීඩනයකට සහ වේදනාවකට පත්ව ඇති බවත් හෙළිවී ඇත. පෙම්වතා තමා අතහැර යාම නිසා ඇති වූ කෝපය සහ සිත්තැවුල පිරිමසා ගැනීම සඳහා ඊට පළිගැනීමක් ලෙස ඇය මෙම ඡායාරූප ප්‍රසිද්ධ කිරීමට පෙළඹී ඇති බව පොලිස් පරීක්ෂණවලදී වැඩිදුරටත් අනාවරණය වී තිබේ.




අත්අඩංගුවට ගත් සැකකාරිය යාපනය මහෙස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ඇප මත මුදාහැර ඇත. සිද්ධිය සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ පරිගණක අපරාධ විමර්ශන කොට්ඨාසයේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක එස්.කේ. කරුණාරත්න මහතාගේ උපදෙස් මත උතුරු පළාත් ඒකකයේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක මධුකුමාර මහතා ඇතුළු නිලධාරීන් පිරිසක් වැඩිදුර විමර්ශන කටයුතු සිදු කරනු ලබයි.