woman-falls-negombo-death

මීගමුව සංචාරක කලාපයේ ඒත්තුකාල ප්‍රදේශයේ පිහිටි 'ඕෂන් බ්‍රීස්' (Ocean Breeze) නම් මහල් නිවාස සංකීර්ණයේ ගොඩනැගිල්ලකින් බිමට ඇදවැටීමෙන් විදේශීය කාන්තාවක් ජීවිතක්ෂයට පත්ව ඇතැයි පොලිසිය පවසයි. මෙම අවාසනාවන්ත සිදුවීම වාර්තා වී ඇත්තේ ඊයේ (13) පස්වරු 3.30 ට පමණ වන අතර මියගොස් ඇත්තේ වයස අවුරුදු 26 ක් වන ස්වීඩන් ජාතික කාන්තාවකි.




ඇය විවාහක කාන්තාවක් වන අතර පොලිසිය සඳහන් කරන ආකාරයට අදාළ කාන්තාව සිය සැමියා සමඟ මෙම නිවාස සංකීර්ණයේ නවවන මහලේ තාවකාලිකව නවාතැන්ගෙන සිට ඇත. ඇයගේ ස්වාමිපුරුෂයා ව්‍යාපාරිකයෙකු බව මූලික විමර්ශනවලදී අනාවරණය වී තිබේ. සිදුවීම සිදුවන අවස්ථාවේදී ඇයගේ ස්වාමිපුරුෂයා ව්‍යාපාරික කටයුත්තක් සඳහා කුරුණෑගල ප්‍රදේශයට ගොස් සිට ඇති බව වාර්තා වේ.

මෙම කාන්තාව ගොඩනැගිල්ලෙන් බිමට ඇදවැටීමට පෙර ආසන්න වශයෙන් පැයක පමණ කාලයක් සිය ජංගම දුරකථනයෙන් යමෙකු සමඟ සංවාදයක නිරතව සිට ඇති බවට තොරතුරු ලැබී ඇත. සිද්ධිය සම්බන්ධයෙන් පරීක්ෂණ පවත්වන පොලිස් නිලධාරීන් විසින් වැඩිදුර විමර්ශන කටයුතු සඳහා ඇයගේ ජංගම දුරකථනය මේ වන විට පොලිස් භාරයට ගෙන තිබේ.




සිද්ධිය වූ ස්ථානයට පැමිණි මීගමුව නාගරික හදිසි මරණ පරීක්ෂකවරයා විසින් ස්ථානීය පරීක්ෂණ සිදු කරන ලදී. ඉහළ මහලෙන් ඇදවැටීම හේතුවෙන් ඇයගේ සිරුරට බරපතළ හානි සිදුව ඇති බව නිරීක්ෂණය වී ඇති අතර, දේහය පශ්චාත් මරණ පරීක්ෂණ සහ වැඩිදුර විමර්ශන කටයුතු සඳහා මීගමුව රෝහලේ මෘත ශරීරාගාරයේ තැන්පත් කිරීමට පොලිසිය පියවර ගෙන ඇත.

woman-falls-negombo-death

woman-falls-negombo-death