is-butter-or-margarine-better

බටර් සහ මාගරින් යන දෙකෙන් සෞඛ්‍යයට වඩාත් හිතකර කුමක්ද යන්න බොහෝ දෙනෙකුට පවතින ගැටලුවක් වන අතර, නවතම වෛද්‍ය විද්‍යාත්මක කරුණු විමසා බැලීමේදී ඒ පිළිබඳව පැහැදිලි පිළිතුරක් ලබාගත හැකිය. බටර් යනු ඉතා දීර්ඝ ඉතිහාසයක් ඇති ස්වාභාවික ආහාරයක් වන අතර, එළකිරි ලීටර් 20ක් පමණ යොදා ගනිමින් බටර් කිලෝ 1ක් නිපදවනු ලබයි.

මෙය සියයට 88ක් පමණ සන්තෘප්ත මේදය (Saturated fat) අඩංගු එළකිරි යොදා සකසන ලද ඝන මිශ්‍රණයක් වන අතර, අතීතයේදී අශ්වයින් හෝ ඔටුවන් පිටේ ගමන් ගිය සංචාරකයන් විසින් කිරි සොලවමින් ගෙන යාමේදී අහම්බෙන් බටර් සොයාගත් බවට ඉතිහාසයේ සඳහන් වේ.




අනෙක් අතට මාගරින් යනු කාර්මිකව සකසන ලද ආහාරයක් වන අතර එහි ආරම්භය 1800 ගණන්වල ප්‍රංශය දක්වා දිව යයි. නැපෝලියන් යුද සමයේදී ඇති වූ බටර් හිඟය නිසා ප්‍රංශ නාවික හමුදාවට බටර් වෙනුවට කල් තබා ගත හැකි ආදේශකයක් නිපදවන්නාට ත්‍යාගයක් පිරිනැමීමට රජය තීරණය කළේය. එහි ප්‍රතිඵලයක් ලෙස ගව තෙල් (beef tallow) යොදා ගනිමින් මුතු ඇටයක පැහැය ගන්නා ධවල පැහැති ආදේශකයක් නිපදවූ අතර ග්‍රීක භාෂාවෙන් මුතු ඇටයට කියන නම ඇසුරින් එයට 'මාගරින්' යන නාමය තබන ලදී. නමුත් වර්තමානයේ නිපදවන මාගරින් සඳහා බොහෝ විට යොදා ගනු ලබන්නේ එළවළු තෙල් වර්ගයි.

මාගරින් වෙළෙඳපොළට පැමිණීමත් සමඟ ඇමෙරිකාවේ කිරි ආශ්‍රිත නිෂ්පාදකයින්ගෙන් ඊට දැඩි විරෝධයක් එල්ල වූ අතර, මාගරින්වල ස්වාභාවික වර්ණය සුදු බැවින් එය කහ පැහැයෙන් වර්ණ ගැන්වීම වැළැක්වීමට ඔවුහු උත්සාහ කළහ. එකල ඇතැම් යෝජනා මගින් මාගරින් රෝස පැහැයෙන් වර්ණ ගැන්විය යුතු බවට පවා තර්ක කළද, අවසානයේදී පාරිභෝගිකයින්ට තනිවම මිශ්‍ර කර ගැනීම සඳහා කහ පැහැති වර්ණකාරක පැකට්ටුවක් මාගරින් සමඟ ලබා දීමට නීතියෙන් අවසර ලැබුණි. කෙසේ වෙතත් පසුකාලීනව ඇති වූ ලෝක යුද්ධ සහ ආර්ථික අවපාත හේතුවෙන් බටර් හිඟ වීමත් සමඟ මාගරින් ජනතාව අතර ජනප්‍රිය විය.




සෞඛ්‍යමය පැත්තෙන් බලන විට පැරණි මාගරින් නිෂ්පාදනයේදී හයිඩ්‍රජනීකරණය නම් ක්‍රියාවලියක් භාවිතා වූ අතර එමගින් ශරීරයට අහිතකර ට්‍රාන්ස් මේදය (Trans fats) නිර්මාණය විය. ට්‍රාන්ස් මේදය රුධිර නාල අවහිර කිරීමට සහ හෘද රෝග ඇති කිරීමට සෘජුවම බලපාන බැවින් එය ඉතා අහිතකර තත්ත්වයකි. බටර්වලද ස්වාභාවිකවම යම් ප්‍රමාණයක ට්‍රාන්ස් මේදය අඩංගු වුවද, කෘත්‍රිමව නිපදවන ට්‍රාන්ස් මේදය තරම් එය හානිකර නොවන බව වෛද්‍යවරු පෙන්වා දෙති.

නූතන මාගරින් නිෂ්පාදනයේදී මෙම හානිකර ක්‍රියාවලිය වෙනස් කර ඇති අතර, වර්තමානයේ බොහෝ මාගරින් වර්ගවල බහු අසන්තෘප්ත මේදය (Polyunsaturated fats) සහ ශාක ස්ටෙරෝල් අඩංගු වේ. මෙම සංයෝගවලට රුධිරයේ කොලෙස්ටරෝල් මට්ටම අඩු කිරීමේ හැකියාවක් පවතී. විශේෂයෙන් යමෙකුට හෘද රෝග අවදානමක් හෝ අධික කොලෙස්ටරෝල් ප්‍රශ්නයක් ඇත්නම්, නවීන මාගරින් භාවිතය බටර් භාවිතයට වඩා හිතකර විය හැකි බව පර්යේෂණ මගින් පෙන්වා දෙයි.



බටර් සම්බන්ධයෙන් සිදු කර ඇති නවතම විශාල පර්යේෂණවලට අනුව, කිරි ආශ්‍රිත සන්තෘප්ත මේදය මස්වල අඩංගු මේදය තරම් හෘදයට අහිතකර නොවන බව සොයාගෙන ඇත. බටර් මධ්‍යස්ථ ප්‍රමාණවලින් ආහාරයට ගැනීම, උදාහරණයක් ලෙස පාන් පෙත්තක ගා ආහාරයට ගැනීම වැනි දේ මගින් රුධිරයේ නරක කොලෙස්ටරෝල් මට්ටම සැලකිය යුතු ලෙස ඉහළ යන්නේ නැත. කිරි නිෂ්පාදනවල අඩංගු ඇතැම් ජෛව ක්‍රියාකාරී සංයෝග මගින් මේදයේ අහිතකර බලපෑම අවම කරන බව විද්‍යාඥයෝ විශ්වාස කරති.

අවසාන වශයෙන්, ඔබ අධික කොලෙස්ටරෝල් පාලනය කර ගැනීමට වෙහෙසෙන අයෙක් නම් ශාක ස්ටෙරෝල් සහිත මාගරින් තෝරා ගැනීම වඩාත් සුදුසුය. නමුත් ඔබ සාමාන්‍ය සෞඛ්‍ය මට්ටමක සිටින අයෙක් නම්, ස්වාභාවික බටර් ස්වල්පයක් ආහාරයට එක් කර ගැනීමේ වරදක් නැත. කෙසේ වෙතත්, මේ දෙවර්ගයම කැලරි අධික ආහාර බැවින් අධික ලෙස පරිභෝජනය කිරීම බර වැඩිවීමට සහ දියවැඩියාව වැනි රෝගවලට මග පෑදිය හැකි බව මතක තබා ගත යුතුය.
(ABC Science ඇසුරිනි)