
කඩවත ප්‍රදේශයේ සිදු කෙරෙන විශේෂ ඉදිකිරීම් ව්‍යාපෘතියක් හේතුවෙන් නුවර - කොළඹ ප්‍රධාන මාර්ගයේ රථවාහන ගමනාගමනය සීමා කිරීමට තීරණය කර ඇති බව පොලිස් මාධ්‍ය කොට්ඨාසය නිවේදනය කරයි. කඩවත පොලිස් වසමට අයත් බණ්ඩාරවත්ත, පුවක්පිටිය ප්‍රදේශයේ මෙම රථවාහන සීමා කිරීම් ක්‍රියාත්මක වන අතර එය 2026 මාර්තු මස 15 වන දින දක්වා බලාත්මක වනු ඇත.
"කඩවත පද්ධති අන්තර් හුවමාරුව සහ මීරිගම දෙසට මීටර් 500 ක් මාර්ගය" යන ව්‍යාපෘතියේ ඉදිකිරීම් කටයුතු මේ දිනවල සක්‍රීයව සිදු වෙමින් පවතින බැවින් මාර්ග සංවර්ධන අධිකාරිය විසින් මෙම පියවර ගෙන තිබේ. ඒ අනුව ඉහත සඳහන් කළ කාල සීමාව ඇතුළත නුවර - කොළඹ ප්‍රධාන මාර්ගයේ එක් මංතීරුවක් වසා තැබීමට කටයුතු යොදා ඇත.
මෙම මාර්ග කොටස වසා තැබීම හේතුවෙන් ඇතිවිය හැකි රථවාහන තදබදය සහ අපහසුතාවය මග හරවා ගැනීම සඳහා කොළඹට ඇතුළුවන සහ පිටවන වාහන සඳහා විකල්ප මාර්ගයක් හඳුන්වා දී ඇත. ඒ අනුව කඩවත නගර මධ්‍යයේ ආලෝක සංඥා මංසන්ධියේ සිට අධිවේගී පිවිසුම් මාර්ගය ඔස්සේ ඇල්දෙණිය ආලෝක සංඥා මංසන්ධිය දක්වා ඇති මාර්ගය විකල්ප මාර්ගය ලෙස භාවිත කරන ලෙස පොලීසිය රියදුරන්ගෙන් ඉල්ලා සිටී.