පෙරේදා (ජනවාරි 01) රාත්රියේ නවගමුව, කොරතොට, මැණිකාගාර පාර ප්රදේශයේ කුලී නිවසකදී සිදුවූ වෙඩි තැබීමකින් පුද්ගලයෙකු ජීවිතක්ෂයට පත්ව ඇති අතර, තවත් දෙදෙනෙකු බරපතළ තුවාල ලබා තිබේ. වෙඩි ප්රහාරය එල්ල වී ඇත්තේ කුලී පදනම මත ලබාගත් නිවසක සිටි පුද්ගලයින් තිදෙනෙකුටය.
මූලික පොලිස් විමර්ශනවලින් අනාවරණය වී ඇත්තේ, යතුරුපැදියකින් සහ ත්රීරෝද රථයකින් පැමිණි පිරිසක් විසින් මෙම වෙඩි තැබීම සිදුකර පලාගොස් ඇති බවය.
වෙඩි ප්රහාරයට ලක්වූවන්ගෙන් එක් අයෙකු නිවසේ නාන කාමරය අසලදී එම ස්ථානයේදීම මියගොස් ඇති අතර, ඔහු බොරැල්ල ප්රදේශයේ පදිංචි වයස අවුරුදු 20ක තරුණයෙකි. වෙඩි තැබීමෙන් තුවාල ලැබූ අනෙක් දෙදෙනා අම්බලන්තොට, වාඩියගොඩ සහ දෙමටගොඩ, ගැවලමුල්ල ප්රදේශවල පදිංචිකරුවන් බව පොලීසිය පවසයි.
තුවාල ලැබූවන් මුලින් අතුරුගිරිය ඔරුවල ප්රාදේශීය රෝහලට ඇතුළත් කිරීමෙන් අනතුරුව වැඩිදුර ප්රතිකාර සඳහා හෝමගම මූලික රෝහල වෙත මාරු කර යවා තිබේ. එක් අයෙකුගේ සිරුරේ උණ්ඩ හතරක්ද, අනෙක් අයගේ සිරුරේ එක් උණ්ඩයක්ද පවතින බව වාර්තා වේ.
සිද්ධිය වූ ස්ථානයේ තිබී මිලිමීටර් 9 වර්ගයේ උණ්ඩ කොපු 15ක් සොයාගෙන ඇති බවද පොලිසිය සඳහන් කරයි. මෙම තරුණයින් තිදෙනා අදාළ කුලී නිවසට පදිංචියට පැමිණ ඇත්තේ මීට මාස එකහමාරකට පමණ පෙරය.
වෙඩි තැබීම සිදුවන අවස්ථාවේදී, ඔවුන් නව වසර උදාවීම නිමිත්තෙන් මත්පැන් සාදයක් පවත්වමින් සිටි බවට තොරතුරු අනාවරණය වී ඇත.
මෙම වෙඩි තැබීමට හේතුව මෙතෙක් අනාවරණය වී නොමැති නමුත්, මෙය පාතාල කණ්ඩායම් දෙකක් අතර පවතින ගැටුමක ප්රතිඵලයක් විය හැකි බවට පොලීසිය සැක පළ කරයි. මේ සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ ක්රියාත්මක බවද වාර්තා වේ.