ජාතික නිදහස් පෙරමුණේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා ඇතුළු එම පක්ෂයේ සාමාජිකයන් හයදෙනකුට එරෙහි නඩුවට අදාළව මාර්තු 09 වැනිදා අධිකරණය හමුවේ පෙනී සිට කරුණු දක්වන ලෙස කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අසංග එස්. බෝදරගම මහතා කුරුඳුවත්ත පොලිසියේ සුළු පැමිණිලි අංශයේ ස්ථානාධිපතිවරයාට ඊයේ (19) නොතීසි නිකුත් කරමින් නියෝග කළේය.
මෙම නියෝගය නිකුත් කරනු ලැබුවේ, අපරාධ නඩුවක් පැවරීමේදී අනුගමනය කළ යුතු අත්‍යවශ්‍ය ක්‍රියාපටිපාටීන් සම්බන්ධයෙන් පොලීසියට විවෘත අධිකරණයේදී දැඩි ප්‍රශ්න කිරීමකින් අනතුරුවය.මේ සම්බන්ධයෙන් පැමිණිල්ලට ප්‍රශ්න යොමු කළ ප්‍රධාන මහේස්ත්‍රාත්වරයා, අපරාධ නඩුවකට අත්‍යවශ්‍ය වන විමර්ශන නිලධාරීන් සිටීම, ස්ථානීය පරීක්ෂණ පැවැත්වීම, විමර්ශන නිලධාරීන්ගේ සාක්ෂි සටහන් කිරීම සහ සැකකරුවන් අත්අඩංගුවට ගත් නිලධාරීන්ගෙන් සාක්ෂි සටහන් කර ගැනීම වැනි ක්‍රියාවලීන් මෙම පැමිණිල්ලේ නොමැති බව පෙන්වා දුන්නේය. මේ වන විටත් කිසිදු නිලධාරියකු අධිකරණයේ සාක්ෂි ලබාදී නොමැති බවද මහේස්ත්‍රාත්වරයා අවධාරණය කළේය.
එමෙන්ම, මෙම පැමිණිල්ල සුළු පැමිණිලි අංශය මගින් ඉදිරිපත් කර ඇති බවට කුරුඳුවත්ත පොලීසිය විසින් අධිකරණයට දැනුම් දෙන ලදී. අනතුරුව, සුළු පැමිණිලි අංශයේ ස්ථානාධිපතිවරයා අධිකරණයේ නොසිටි බැවින්, ඔහුට නොතීසි නිකුත් කිරීමට මහේස්ත්‍රාත්වරයා නියෝග කළේය.
මෙම පැමිණිල්ල ගොනු කර තිබුණේ, 2016 පෙබරවාරි 06 වැනි දින එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමසාරිස් සෙයිඩ් අල් හුසේන් කුමරු ශ්‍රී ලංකාවට පැමිණීමට විරෝධය පළ කරමින්, එක්සත් ජාතීන්ගේ කාර්යාලය ඉදිරිපිට, තුම්මුල්ල ඇතුළු ප්‍රදේශවල මාර්ග අවහිර කරමින් උද්ඝෝෂණයක නිරතවීම සම්බන්ධයෙනි. මෙම නඩුව මංමාවත් පනත සහ පොලිස් ආඥා පනත යටතේ දඬුවම් ලැබිය යුතු වරදක් සිදුකිරීමට එරෙහිව කුරුඳුවත්ත පොලිසිය මගින් පවරා ඇත. විමල් වීරවංශ, ජයන්ත සමරවීර, වීරකුමාර දිසානායක, පියසිරි විජේනායක, රොජර් සෙනෙවිරත්න සහ මොහොමඩ් මුසාමිල් යන සැකකරුවන් අධිකරණයේ පෙනී සිටි අතර, පුද්ගලික බස් රථ රියැදුරන් දෙදෙනකු සිද්ධියෙන් මාර්ග අවහිරයක් සිදු වූ බවට සාක්ෂි ලබා දුන්හ.
විත්තිකරුවන් වෙනුවෙන් ජනාධිපති නීතිඥ ජයන්ත වීරසිංහ, නීතිඥ ඇන්ටන් සේනානායක මහත්වරුන් ඇතුළු නීතිඥ මණ්ඩලයක් අධිකරණයේ පෙනී සිටියේය. මෙම නඩුවේ වැඩිදුර විභාගය මාර්තු 09 වැනිදාට කල් තබා තිබේ.
