first-shooting-of-2026-one-dead-two-injured-in-kaduwela

2026 වසරේ වාර්තා වූ ප්‍රථම වෙඩි තැබීමේ සිද්ධිය කඩුවෙල, නවගමුව ප්‍රදේශයෙන් ඊයේ (ජනවාරි 01) රාත්‍රියේ වාර්තා විය. 




මෙම ප්‍රහාරයෙන් පුද්ගලයෙකු ජීවිතක්ෂයට පත් වූ අතර, තවත් දෙදෙනෙකු බරපතල තුවාල ලැබූහ. නවගමුව, කොරතොට මැණිකාගාර පාරේ කුලී නිසක පදිංචිව සිටි තරුණයින් තිදෙනෙකු නව වසර සැමරීම වෙනුවෙන් මත්පැන් සාදයක් පවත්වමින් සිටියදී, රාත්‍රී 9.30ත් 10.00ත් අතර කාලයේදී මෙම අපරාධය සිදුවී ඇත. යතුරුපැදියකින් සහ ත්‍රිරෝද රථයකින් පැමිණි සන්නද්ධ කණ්ඩායමක් එකවරම නිවසට කඩා වැදී පිස්තෝල ගිනි අවිවලින් මෙම තරුණයින්ට වෙඩි තබා පලා ගොස් ඇති බව පොලිසිය සඳහන් කරයි.

වෙඩි තැබීමෙන් බොරැල්ල ප්‍රදේශයේ පදිංචි විසි හැවිරිදි තරුණයෙකු එම ස්ථානයේදීම ජීවිතක්ෂයට පත්විය. බරපතල තුවාල ලැබූ අම්බලන්ගොඩ සහ දෙමටගොඩ ප්‍රදේශවල පදිංචි තරුණයින් දෙදෙනා මුලින් අතුරුගිරිය ඔරුවල ප්‍රාදේශීය රෝහලට ඇතුළත් කර, පසුව වැඩිදුර ප්‍රතිකාර සඳහා හෝමාගම මූලික රෝහල වෙත මාරු කර යවනු ලැබූහ. රෝහල් ආරංචි මාර්ග පවසන පරිදි, එක් තුවාලකරුවෙකුගේ ශරීරයේ වෙඩි උණ්ඩ හතරක්ද, අනෙකාගේ ශරීරයේ එක් වෙඩි උණ්ඩයක්ද සිරවී පවතී.




සිද්ධිය වූ ස්ථානයේ පොලිස් පරීක්ෂණවලදී හිස් පතොරම් කොපු පහළොවක් පමණ සොයාගෙන ඇත. මූලික විමර්ශනවලදී හෙළි වූ තොරතුරු අනුව, මෙම තරුණයින් තිදෙනා අදාළ නිවස කුලියට ගෙන පදිංචියට පැමිණ ඇත්තේ මීට මාස එකහමාරකට පමණ පෙරය. පොලිසිය වැඩිදුරටත් සැක පළ කරන්නේ, මාස එකහමාරකට පමණ පෙර "වනාතේ චතූ" නමැත්තාගේ හිතවතියකට එල්ල වූ තියුණු ආයුධ ප්‍රහාරයකට පළිගැනීමක් ලෙස ඔහුගේ පාර්ශවය විසින් මෙම වෙඩි තැබීම සිදුකරන්නට ඇති බවයි. නවගමුව පොලිසිය සහ නුගේගොඩ අපරාධ විමර්ශන අංශය එක්ව සිද්ධිය සම්බන්ධයෙන් පුළුල් පරීක්ෂණ ක්‍රියාත්මක කරයි.