කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේදී අද පැවැති තීරණාත්මක තෙවැනි එක්දින ජාත්‍යන්තර ක්‍රිකට් තරගයෙන් ශ්‍රී ලංකාව පරදවා ලකුණු 53ක ජයග්‍රහණයක් වාර්තා කිරීමට සංචාරක එංගලන්ත කණ්ඩායම සමත් වූ අතර ඒ සමඟින් තරග 3කින් සමන්විත එක්දින තරගාවලිය 2-1ක් ලෙස ජය ගැනීමට ද ඔවුන්ට හැකි විය.
කාසියේ වාසිය දිනා පළමුවෙන් පන්දුවට පහරදුන් එංගලන්ත කණ්ඩායම නියමිත පන්දුවාර 50 අවසානයේ කඩුලු 3ක් පමණක් දැවී ලකුණු 357ක දැවැන්ත ලකුණු සංඛ්‍යාවක් පුවරුවට එක් කළ අතර එහිදී ජෝ රූට් සහ හැරී බෲක් අගනා ශතක වාර්තා කරමින් ඉනිම ශක්තිමත් කළහ. නොදැවී ලකුණු 111ක් ලබාගත් ජෝ රූට් සහ පන්දු 66කදී හතරේ පහර 11ක් සහ හයේ පහර 9ක් සමඟින් පුපුරන සුලු ලකුණු 136ක් රැස්කළ හැරී බෲක් සිව්වැනි කඩුල්ල වෙනුවෙන් පන්දු 113කදී ලකුණු 191ක සබඳතාවක් ගොඩනැගූ අතර ඔවුන්ට අමතරව ජේකොබ් බෙතෙල් ලකුණු 65ක් ලබාගනිමින් ඉනිමට ශක්තියක් විය.
ලකුණු 358ක අසීරු ජයග්‍රාහී ඉලක්කයක් හඹාගිය ශ්‍රී ලංකා කණ්ඩායමට පන්දුවාර 46යි පන්දු 4ක් අවසානයේ සියලුදෙනා දැවී ලබාගත හැකි වූයේ ලකුණු 304ක් පමණි. ශ්‍රී ලංකා ඉනිම වෙනුවෙන් පවන් රත්නායක ලකුණු 121ක විශිෂ්ඨ ඉනිමක් ක්‍රීඩා කළ අතර ආරම්භක පිතිකරු පැතුම් නිස්සංක අර්ධ ශතකයකින් දායක වුවද සෙසු පිතිකරුවන් අසාර්ථක වීම හේතුවෙන් ජයග්‍රහණය කරා යාමට ඔවුන්ට අවස්ථාවක් නොලැබුණි.
එංගලන්තය වෙනුවෙන් පන්දු යැවීමේදී දක්ෂ පාලනයකින් යුතුව පන්දු යැවූ වමත් දඟපන්දු යවන්නා වන ලියම් ඩෝසන් ලකුණු 48කට කඩුලු 2ක් බිඳ හෙලූ අතර සෙසු පන්දු යවන්නන් තිදෙනෙකු ද කඩුලු 2 බැගින් දවාගනිමින් ශ්‍රී ලංකා ඉනිම බිඳ දැමීමට දායක වූහ. තරගයේ වීරයා සම්මානය හැරී බෲක් හට හිමි වූ අතර තරගාවලිය පුරා ලකුණු 247ක් රැස්කරමින් දැක්වූ දක්ෂතා වෙනුවෙන් ජෝ රූට් තරගාවලියේ වීරයා ලෙස අභිෂේක ලැබීය.
දෙරට අතර පැවැත්වෙන තරග 3කින් සමන්විත විස්සයි-20 තරගාවලියේ පළමු තරගය එළඹෙන ජනවාරි 30 වැනි සිකුරාදා මහනුවර පල්ලෙකැලේ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී පැවැත්වීමට නියමිතව ඇත.
