dums-drug-dealer-father-in-dubai-arrested-with-heroin-worth-rs-10-million

ඩුබායි හි සැඟවී සිට මත්ද්‍රව්‍ය ජාවාරම් මෙහෙයවන ඕෂධ ප්‍රනාන්දු හෙවත් 'ඩුම්' නමැති ප්‍රධාන ජාවාරම්කරුගේ පියා වන කුරුකුලසූරිය ලසන්ත ප්‍රදීප් ප්‍රනාන්දු පෙරේදා (3) පස්වරුවේ මීගමුව පොලිස් අපරාධ විමර්ශන අංශය විසින් අත්අඩංගුවට ගෙන තිබේ. මොහු සන්තකයේ තිබී රුපියල් ලක්ෂ සියයකට ආසන්න වීදි වටිනාකමක් සහිත හෙරොයින් ග්‍රෑම් 503ක් සහ මත්ද්‍රව්‍ය ජාවාරම්වලින් උපයාගත් බවට සැකකෙරෙන රුපියල් ලක්ෂ 14ක මුදලක් ද සොයාගෙන ඇත.




අපරාධ විමර්ශන අංශයේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක චාමර ප්‍රදීප් මහතාට ලැබුණු තොරතුරකට අනුව මෙම වැටලීම සිදුකර තිබේ. 49 හැවිරිදි මෙම සැකකරු කටුවපිටිය ප්‍රදේශයේදී මෙලෙස පොලිස් අත්අඩංගුවට පත්ව ඇත.

සැකකරුගේ පුත්‍රයා වන 'ඩුම්' නමැති මත්ද්‍රව්‍ය ජාවාරම්කරු විසින් තොග වශයෙන් ලබා දෙන හෙරොයින්, ඔහු දැනුම් දෙන ස්ථානවලදී නියමිත ප්‍රමාණයට කුඩා පැකට් බවට පත්කර තැබීම සැකකරුගේ ප්‍රධාන කාර්යභාරය වී ඇති බව විමර්ශනවලින් අනාවරණය වේ.




මත්ද්‍රව්‍ය ගනුදෙනු සඳහා භාවිත කර ඇති බවට සැකකෙරෙන බැංකු කාඩ්පත් 12ක්, ජංගම දුරකථන තුනක්, කුඩා විද්‍යුත් තරාදියක්, ත්‍රිරෝද රථයක් සහ වෑන් රථයක් ද සැකකරු සන්තකයේ තිබී පොලිස් භාරයට ගෙන තිබේ.

පොලීසිය පවසන්නේ, මෙතෙක් සිදුකළ පරීක්ෂණවලින් අනාවරණය වී ඇත්තේ, සැකකරු කටුවපිටිය පාරේ පිහිටි නිවසක මාසිකව රුපියල් ලක්ෂයකට කුලී පදනම මත පදිංචිව සිටිමින් මෙම ජාවාරම සිදුකර ඇති බවයි.