ඇමෙරිකා එක්සත් ජනපදයේ මිනිඇපොලිස් (Minneapolis) නගරයේදී ආගමන හා රේගු බලාත්මක කිරීමේ ඒකකයේ (ICE) නිලධාරියෙකු විසින් මෝටර් රථයක සිටි කාන්තාවකට වෙඩි තැබීමෙන් ඇය ජීවිතක්ෂයට පත්වීමේ සිදුවීමක් වාර්තා වේ. මෙම වෙඩි තැබීමේ සිද්ධිය ඇතුළත් වීඩියෝ දර්ශන මේ වන විට සමාජ මාධ්‍ය ඔස්සේ ශීඝ්‍රයෙන් සංසරණය වෙමින් පවතින අතර, මියගිය කාන්තාව දරුවන් තිදෙනෙකුගේ මවක් වන 37 හැවිරිදි රෙනී ගුඩ් (Renee Good) ලෙස හඳුනාගෙන තිබේ.
අදාළ වීඩියෝ දර්ශනවලට අනුව මාර්ගයේ නතර කර තිබූ මෝටර් රථයක් පරීක්ෂා කිරීමට එක් නිලධාරියෙකු ළඟා වී රියදුරුට දොර විවෘත කරන ලෙස පවසා ඇති අතර, එම අවස්ථාවේදී රථය ඉදිරියට ධාවනය වී ඇත. එවිටම ඊට ඉදිරියෙන් සිටි අනෙක් නිලධාරියා වහාම තම ගිනි අවිය ඇදගෙන ඉතා ආසන්නයේ සිට රියදුරු අසුනේ සිටි කාන්තාවට වෙඩි තබා ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.මෙම සිද්ධිය සම්බන්ධයෙන් ප්‍රතිචාර දක්වමින් ඇමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් අදාළ නිලධාරියාගේ ක්‍රියාකලාපය ආරක්ෂා කරමින් අදහස් දක්වා තිබේ. වෙඩි තැබීමේ දර්ශන ඉතා බියජනක බව පිළිගත් ජනාධිපතිවරයා, කෙසේ වෙතත් අදාළ කාන්තාව හිතාමතාම නිලධාරියා ඉලක්ක කරගත් බවත් ඇය නිලධාරීන්ට අනතුරක් කිරීමට උත්සාහ කළ බවත් පවසමින් නිලධාරියා නිර්දෝෂී බවට තර්ක කර ඇත. මීට අමතරව ස්වදේශ ආරක්ෂක ලේකම් ක්‍රිස්ටි නොයෙම් (Kristi Noem) ප්‍රකාශ කර ඇත්තේ කාන්තාව නිලධාරීන් වාහනයෙන් යට කිරීමට උත්සාහ කළ බැවින් මෙය නිලධාරීන්ට එරෙහිව එල්ල වූ "දේශීය ත්‍රස්ත ප්‍රහාරයක්" ලෙස තමන් සලකන බවයි.
කෙසේ වෙතත්, ෆෙඩරල් රජයේ මෙම ප්‍රකාශයන් මිනිඇපොලිස් නගරාධිපති ජේකබ් ෆ්‍රේ (Jacob Frey) විසින් දැඩි ලෙස ප්‍රතික්ෂේප කරනු ලැබ තිබේ. මාධ්‍ය හමුවක් පවත්වමින් නගරාධිපතිවරයා චෝදනා කළේ ආගමන විගමන නිලධාරීන් නගරය තුළ අරාජිකත්වය වපුරන බවත්, ආරක්ෂාව මුවාවෙන් පවුල් කඩා බිඳ දමමින් මිනිසුන් ඝාතනය කරන බවත්ය. ICE ඒකකය වහාම තම නගරයෙන් සහ ප්‍රාන්තයෙන් ඉවත්විය යුතු බව අවධාරණය කළ ඔහු, තමන් සංක්‍රමණික සහ සරණාගත ප්‍රජාව සමඟ ශක්තිමත්ව පෙනී සිටින බව ප්‍රකාශ කර ඇත.
වෙඩි වැදී තුවාල ලැබූ කාන්තාවගේ මෝටර් රථය අසල තිබූ තවත් වාහන දෙකක ගැටී නතර වී ඇති අතර, වෛද්‍ය කණ්ඩායම් ඇයව බේරා ගැනීමට උත්සාහ කළද ඇය එම ස්ථානයේදීම මියගොස් තිබේ. මෙම ඛේදවාචකයෙන් පසුව කෝපයට පත් සිය ගණනක් ජනතාව මිනිඇපොලිස් වීදිවලට එක්රොක් වී ICE නිලධාරීන්ට එරෙහිව විරෝධතා ආරම්භ කර ඇති අතර, රාත්‍රී කාලයේදී ඉටිපන්දම් දල්වා මියගිය කාන්තාවට ශෝකය පළකිරීමටද කටයුතු කර ඇත.