ග්‍රීන්ලන්තය සිය පාලනයට නතු කර ගැනීම සඳහා ඇමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් සිදු කරන ලද ප්‍රකාශයත් සමඟ ලෝක දේශපාලනයේ නව උණුසුම් තත්ත්වයක් නිර්මාණය වී තිබේ. ධවල මන්දිර ප්‍රකාශිකා කැරොලින් ලෙවිට් සඳහන් කර ඇත්තේ ඇමෙරිකානු ආරක්ෂාව වෙනුවෙන් ග්‍රීන්ලන්තය අත්පත් කර ගැනීම අතිශය වැදගත් බවත්, ඒ සඳහා හමුදාමය මැදිහත්වීමක් හෝ වෙනත් විකල්ප ක්‍රමවේදයන් සොයමින් සිටින බවත්ය.
ට්‍රම්ප් 2019 වසරේ සිටම ග්‍රීන්ලන්තය පාලනය කිරීම පිළිබඳව අදහස් පළ කර ඇති අතර, පසුගිය සඳුදා ඔහු ප්‍රකාශ කළේ රුසියානු සහ චීන නාවික ක්‍රියාකාරකම් හේතුවෙන් ජාතික ආරක්ෂාවට මෙම කලාපය අත්‍යවශ්‍ය බවයි.ධවල මන්දිරය හමුදා බලය යෙදවීම ගැන ඉඟි කළද, ඇමෙරිකානු විදේශ අමාත්‍ය මාර්කෝ රුබියෝ පවසන්නේ පරිපාලනයේ අරමුණ ග්‍රීන්ලන්තයට පහර දීම නොව ඩෙන්මාර්කයෙන් එය මිලදී ගැනීම බවයි. කෙසේ වෙතත්, ට්‍රම්ප්ගේ ජ්‍යෙෂ්ඨ උපදේශක ස්ටීවන් මිලර් අවධාරණය කරන්නේ අනාගතයේදී වෙනත් කිසිදු රටක් ඇමෙරිකාව සමඟ මෙම කලාපය සම්බන්ධයෙන් ගැටුම් ඇති කර නොගැනීම සඳහා ග්‍රීන්ලන්තය ඇමෙරිකාවේ කොටසක් විය යුතු බවයි. ඇමෙරිකානු රජය බලය සහ නීති මත පදනම්ව කටයුතු කරන බවත් ඔහු සඳහන් කර ඇත.
මෙම ප්‍රකාශවලට දැඩි ප්‍රතිචාර දක්වමින් ඩෙන්මාර්ක අගමැතිනිය වන මෙටේ ෆ්‍රෙඩ්රික්සන් අනතුරු අඟවා ඇත්තේ ඇමෙරිකාව ග්‍රීන්ලන්තයට පහර දීමට උත්සාහ කළහොත් එය නේටෝ (NATO) හමුදා සන්ධානයේ අවසානය වනු ඇති බවයි. නේටෝ සාමාජික රටක් තවත් සාමාජික රටකට පහර දීම මුළු පද්ධතියම බිඳ වැටීමට හේතු වන බව ඇය පෙන්වා දෙයි. බ්‍රිතාන්‍යය, ප්‍රංශය, ජර්මනිය ඇතුළු යුරෝපීය නායකයින් ඒකාබද්ධ ප්‍රකාශයක් නිකුත් කරමින් කියා සිටියේ ග්‍රීන්ලන්තයේ අනාගතය තීරණය කළ හැක්කේ එහි ජනතාවට සහ ඩෙන්මාර්කයට පමණක් බවත්, ග්‍රීන්ලන්තය විකිණීමට නොමැති බවත්ය.
ග්‍රීන්ලන්ත අගමැතිවරයා ද මෙම අදහස් අනුමත කරමින් පවසා ඇත්තේ ඇමෙරිකානු ජනාධිපතිවරයා ග්‍රීන්ලන්තය වෙන්නිසියුලාව වැනි රටකට සමාන කරමින් හමුදාමය මැදිහත්වීම් ගැන කතා කිරීම තම ජනතාවට කරන අගෞරවයක් බවයි. ග්‍රීන්ලන්තය ඩෙන්මාර්කයට අයත් ස්වයං පාලන ප්‍රදේශයක් වන අතර එහි ආරක්ෂක සහ විදේශ ප්‍රතිපත්තිවල වගකීම ඩෙන්මාර්කය සතු වේ. එහි ජනගහනය 57,000ක් පමණ වේ.
දැනටමත් ග්‍රීන්ලන්තයේ ඇමෙරිකානු හමුදා කඳවුරක් ස්ථාපිත කර තිබේ. පිටුෆික් අභ්‍යවකාශ කඳවුර (පෙර තූලේ ගුවන් කඳවුර) ලෙස හැඳින්වෙන මෙය ඇමෙරිකාවේ උතුරටම වන්නට පිහිටි හමුදා කඳවුරයි. මෙහි 150ත් 200ත් අතර ඇමෙරිකානු භට පිරිසක් සිටින අතර මිසයිල අනතුරු ඇඟවීම් සහ අභ්‍යවකාශ නිරීක්ෂණ කටයුතු සඳහා මෙම කඳවුර භාවිතා කෙරේ. මීට අමතරව ඩෙන්මාර්ක හමුදා සහ සිවිල් නිලධාරීන් දෙසියයක් පමණ සෝදිසි කිරීම් සහ මුදවා ගැනීමේ මෙහෙයුම් සඳහා ග්‍රීන්ලන්තයේ රැඳී සිටිති.
ඇමෙරිකාව ග්‍රීන්ලන්තය කෙරෙහි මෙතරම් උනන්දුවක් දැක්වීමට ප්‍රධාන හේතු කිහිපයක් තිබේ. භූගෝලීය වශයෙන් යුරෝපය සහ උතුරු ඇමෙරිකාව අතර මැද පිහිටීම නිසා යුදමය වශයෙන් මෙය ඉතා වැදගත් මධ්‍යස්ථානයකි. විශේෂයෙන් ආක්ටික් කලාපයේ රුසියානු සහ චීන ක්‍රියාකාරකම් නිරීක්ෂණය කිරීමට මෙය කදිම තෝතැන්නකි. එසේම ගෝලීය උණුසුම සමඟ අයිස් දියවීම නිසා විවෘත වන නව නාවික වෙළඳ මාර්ග පාලනය කිරීමටත්, චීනය විසින් අධික ලෙස පාලනය කරන දුර්ලභ ඛනිජ සම්පත් සහ ස්වභාවික වායු ලබා ගැනීමටත් ඇමෙරිකාව අපේක්ෂා කරයි.
දෙවන ලෝක යුද්ධ සමයේදී ද ග්‍රීන්ලන්තය යුදමය වශයෙන් තීරණාත්මක විය. එකල අත්ලාන්තික් සාගරයේ මැද කොටස ගුවන් ආවරණයෙන් තොර වූ අතර එය "ග්‍රීන්ලන්ත එයාර් ගැප්" ලෙස හැඳින්විණි. ජර්මානු යූ-බෝට්ටු (U-boats) මෙම දුර්වලතාවයෙන් ප්‍රයෝජන ගෙන මිත්‍ර පාර්ශ්වයේ නැව්වලට පහර දුන් අතර, පසුව ග්‍රීන්ලන්තයේ කඳවුරු ඉදි කිරීමත් සමඟ එම ආරක්ෂක හිඩැස පිරවීමට හැකි විය. දශක අටකට පසුව වුවද, අනාගත ලෝක යුද්ධයකදී අත්ලාන්තික් කලාපයේ බලය තහවුරු කර ගැනීමට ග්‍රීන්ලන්තය අත්පත් කර ගැනීම අතිශය තීරණාත්මක සාධකයක් වනු ඇතැයි විචාරකයෝ පවසති.