a-man-who-hacked-a-persons-hands-was-cut-off-at-the-wrist-and-fled

මාතර, හක්මන, කෝංගල ප්‍රදේශයේදී පෙරේදා (6) රාත්‍රියේ පුද්ගලයෙකුගේ දෑත් මැණික් කටුවෙන් පහළින් තියුණු ආයුධයකින් කපා වෙන් කර, එම ශරීර කොටස්ද රැගෙන පලාගොස් ඇති බව හක්මන පොලීසිය පවසයි. මෙම බිහිසුණු අපරාධය පැරණි ආරවුලකට අදාළ පලිගැනීමක් ලෙස සිදුකර ඇති බවට පොලීසිය සැක පළ කරයි.




තුවාල ලැබූ පුද්ගලයා හක්මන, කෝංගල මධ්‍යම ප්‍රදේශයේ පදිංචිකරුවෙකි. හක්මන මාතර මාර්ගයේ රණවිරු බස් නැවතුම්පොළ අසල රැඳී සිටි ඔහු ත්‍රිරෝද රථයකින් පැහැරගෙන ගොස් ඇති අතර, පසුව කෝංගල විජය මාවතට ගෙන ගොස් දෑත් කපා වෙන්කර ඇතැයි විමර්ශනවලදී හෙළි වී තිබේ. කපා වෙන් කරන ලද අත් කොටස් පොලිතීන් බෑගයක දමා රැගෙන ගොස් ඇති බවද පොලීසිය සඳහන් කරයි. බරපතළ තුවාල ලැබූ මෙම පුද්ගලයා ප්‍රථමයෙන් කිරින්ද රෝහලට ඇතුළත් කර ඇති අතර, පසුව වැඩිදුර ප්‍රතිකාර සඳහා මාතර මහ රෝහලට මාරු කර යවා ඇත.

පොලීසිය කළ මූලික විමර්ශනවලින් අනාවරණය වී ඇත්තේ, වත්මන් තුවාලකරු පසුගිය වසරේ (2023) අගෝස්තු මස 6 වන දින, මෙම සිද්ධියට සම්බන්ධ සැකකරුවන් අතර සිටින පුතාගේ අතක් කපා බරපතළ තුවාල සිදුකර ඇති අතර, ඔහුගේ පියාට ඇසිඩ් ප්‍රහාරයක් එල්ල කර ඇති බවයි. මෙම අපරාධය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව, රිමාන්ඩ් භාරයේ සිට ඇප මත නිදහස්ව සිටියදී ඔහු මෙම බිහිසුණු ප්‍රහාරයට ලක්වී ඇති බවද පොලීසිය සඳහන් කරයි. පෙර සිදුකළ ප්‍රහාරයට පලිගැනීමක් වශයෙන් මෙම සිද්ධිය සිදුකර ඇති බවට විමර්ශනවලදී තොරතුරු අනාවරණය වී ඇත.




මෙම අපරාධයට සම්බන්ධ පිය පුතු දෙදෙනකු ඇතුළු තිදෙනකු අත්අඩංගුවට ගැනීමට හක්මන පොලීසියේ අපරාධ විමර්ශන අංශය පුළුල් පරීක්ෂණ අරඹා ඇත. සැකකරුවන් ප්‍රදේශයෙන් පලාගොස් ඇති බවට තොරතුරු ලැබී ඇති අතර, කපා වෙන්කර ගෙන ගිය දෑත් කොටස් සොයා ගැනීම සඳහාද පොලීසිය මෙහෙයුම් දියත් කර තිබේ. සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන ක්‍රියාත්මකයි.