chinese-company-says-it-cannot-build-cable-car-to-ambuluwa-due-to-landslide-risk

ශ්‍රී ලංකාවේ ඉදි කිරීමට යෝජිතව තිබූ පළමු කේබල් කාර් ව්‍යාපෘතිය වන අම්බුළුවාව ව්‍යාපෘතියෙන් ඉවත් වීමට එහි ප්‍රධාන ආයෝජකයකු වන චීනයේ ඇම්බරි ඇඩ්වෙන්චරි සමාගම තීරණය කර තිබේ. නායයෑමේ අවදානමක් පවතින බවට කරුණු අනාවරණය වීමත් සමඟ පරිසර අමාත්‍යාංශය මගින් මෙහි ඉදිකිරීම් කටයුතු අත්හිටුවීමට ගත් පියවර මෙම තීරණයට මූලික හේතුව වී ඇති අතර, මේ බව ආයෝජන සමාගම විසින් ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලය වෙත ඊයේ (14) දින නිල වශයෙන් දැනුම් දී ඇත.




ඇමරිකානු සහ චීන ආයෝජනවල එකතුවක් ලෙස ක්‍රියාවට නැංවූ මෙම ව්‍යාපෘතිය සඳහා ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලයේ නීති රීති හා ක්‍රමවේදයන්ට අනුකූලව අදාළ සියලුම අවසරයන් සහ එකඟතාවන් ලබා ගෙන තිබූ බව සඳහන් වේ. එසේ වුවද, ව්‍යාපෘතියේ ඉදිකිරීම් කටයුතු පවත්වාගෙන යෑමට දිගින් දිගටම බාධා එල්ල වීම හේතුවෙන් ආයෝජකයන් දැඩි අපහසුතාවයට පත් වී ඇති බව වාර්තා වේ. මෙම බාධා කිරීම් හමුවේ සමාගමට අනපේක්ෂිත මූල්‍ය අලාභයන්ට මුහුණ දීමට සිදු වූ බව ඇම්බරි ඇඩ්වෙන්චරි සමාගම පෙන්වා දෙයි.

ව්‍යාපෘතිය අතරමග නතර වීම නිසා තමන්ට සිදු වූ මූල්‍ය පාඩුව පියවා ගැනීම සඳහා ජාත්‍යන්තර වන්දි අධිකරණය වෙත පැමිණිලි කිරීමට කටයුතු කරන බව එම සමාගමේ අධ්‍යක්ෂ යුආන් යුපින් මහතා ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලය වෙත ලිපියක් යොමු කරමින් අවධාරණය කර ඇත. ව්‍යාපෘතියට එල්ල වූ අඛණ්ඩ බාධා කිරීම් සහ රජයේ තීරණ හේතුවෙන් මෙම පියවර ගැනීමට සිදුවන බව එම ලිපියේ වැඩිදුරටත් සඳහන් වේ.




මේ සම්බන්ධයෙන් අදහස් දක්වන අම්බුළුවාව භාරකාර මණ්ඩලය පවසන්නේ මෙරට පළමු කේබල් කාර් ව්‍යාපෘතියෙන් ආයෝජකයන් ඉවත් වීම රටට සිදුවන විශාල පාඩුවක් බවයි. කරුණු පිළිබඳව නිසි අවබෝධයක් නොමැති පිරිසක් එල්ල කරන චෝදනා පදනම් කරගෙන, රජය විසින් විධිමත් පරීක්ෂාවකින් තොරව තීන්දු තීරණ ගැනීම කනගාටුවට කරුණක් බව ඔවුන් පෙන්වා දෙයි. හිතුමතේ ක්‍රියාත්මක කළ නොහැකි මෙවැනි දැවැන්ත ව්‍යාපෘතියක් නතර වීම හරහා එම ප්‍රදේශයේ ජනතාවට හිමි වීමට තිබූ සෘජු සහ වක්‍ර රැකියා අවස්ථා මෙන්ම ආදායම් මාර්ග ද අහිමි වී යන බව භාරකාර මණ්ඩලය වැඩිදුරටත් සඳහන් කරයි.