namal-goes-to-check-on-johnnys-son-who-was-remanded

රිමාන්ඩ් කර සිටින ජොන්ස්ටන් ප්‍රනාන්දු හිටපු ඇමතිගේ පුතු බලන්න අද ගිය ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා ප්‍රකාශ කරන්නේ, ආණ්ඩුව සිය දේශපාලන න්‍යාය පත්‍රය ක්‍රියාත්මක කිරීම සඳහා නීතිය නිසි පරිදි ක්‍රියාත්මක නොකරන බවයි. හිටපු අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා සෙවීම සඳහා පොලිස් කණ්ඩායම් කිහිපයක් යොදවා ලක්ෂ ගණනක් මහජන මුදල් නාස්ති කිරීමක් සිදුවන බවද ඒ මහතා චෝදනා කළේය.




තම පක්ෂයේ බහුතර සාමාජිකයන් මෙතෙක් අධිකරණයෙන් හෝ පොලිසියෙන් වැලකී නොසිටි බව පෙන්වා දෙන මන්ත්‍රීවරයා, ජනතා විමුක්ති පෙරමුණේ සාමාජිකයන් මෙන් ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ සාමාජිකයන්ද පොලිසිය දුටු සැණින් පලා යන පිරිසක් ලෙස පොලිසිය සලකන්නේදැයි ප්‍රශ්න කළේය.

පසුගියදා ඇතිවූ ආපදා තත්වය හේතුවෙන් අහිමිවූ ජීවිත පිළිබඳව ආණ්ඩුව බැරෑරුම් ලෙස නොසලකන බවත්, එම තත්වයන් වසන් කර ගැනීම සඳහා ව්‍යාපාරික ආයතනයක් හරහා සිදුවූ රුපියල් ලක්ෂ දෙකහමාරක පමණ ගනුදෙනුවක් ‘මහා පරිමාණ වංචාවක්’ ලෙස හුවා දක්වන බවත් ඔහු කියා සිටියේය.




ආණ්ඩුවට මේ දක්වා විගණකාධිපතිවරයෙකු පත් කිරීමට නොහැකි වී ඇති අතර, එසේ තිබියදී කැබ් රථ මෙරටට ආනයනය කිරීම, බහාලුම් නිදහස් කිරීම සහ සහල් ආනයනය කිරීම වැනි ක්‍රියා සිදුකරන බවට මන්ත්‍රීවරයා චෝදනා කළේය.

ජනාධිපතිවරයා තමන්ට රිසි විගණකාධිපතිවරයෙකු පත් කිරීමට උත්සාහ කරන්නේ කැබ් රථ 1700ක් ආනයනය කිරීමේ ටෙන්ඩරය ලබාගැනීම සඳහා යැයි තමන් සැක කරන බවද නාමල් රාජපක්ෂ මහතා වැඩිදුරටත් සඳහන් කළේය.