overseas-doctors-violate-bond

පශ්චාත් උපාධි පාඨමාලා හැදෑරීම සඳහා විදේශගතව එලෙසම රැඳී සිටිමින් රජය සමඟ එළැඹි බැඳුම්කර ගිවිසුම් උල්ලංඝනය කළ වෛද්‍යවරුන් හත්සිය පස්දෙනකුගෙන් රජයට අයවිය යුතු රුපියල් කෝටි දෙසීයකට ආසන්න මුදලක් මෙතෙක් අයකර ගැනීමට නොහැකි වී ඇති බව ජාතික විගණන කාර්යාලය අනාවරණය කරයි. මෙම විශාල මුදල නැවත අයකර ගැනීම සඳහා අදාළ අංශවල වගකිවයුතු නිලධාරීන් නිසි කාර්යක්ෂමතාවකින් සහ වගකීමකින් යුතුව කටයුතු කර නොමැති බව එම කාර්යාලය නිකුත් කළ නවතම වාර්තාවක දැඩිව පෙන්වා දී තිබේ.




මීට අමතරව විගණන කටයුතු සඳහා සිය පෞද්ගලික ලිපිගොනු ඉදිරිපත් නොකළ වෛද්‍ය නිලධාරීන් එකසිය දහසය දෙනකුගෙන් රජයට අයවිය යුතු රුපියල් කෝටි දොළහකට ආසන්න මුදලක්ද මෙතෙක් අයකර ගෙන නොමැති බව විගණන අංශ සඳහන් කරන අතර, සේවය අතහැර ගොස් ඇති එහෙත් රජය සමඟ බැඳුම්කර ගිවිසුම්වලට එළැඹ නොමැති නිලධාරීන් පස්දෙනකුට වැඩිපුර ගෙවන ලද වැටුප් හා දීමනා වශයෙන් රුපියල් ලක්ෂ දහයකට අධික මුදලක්ද අයකර ගෙන නොමැති බව වාර්තා වේ.

පශ්චාත් උපාධි පාඨමාලාවලට අදාළ පුහුණුවීම්, විදේශ රැකියා මෙන්ම වෙනත් පෞද්ගලික හේතූන් මත වෛද්‍යවරුන් විදේශගත වීම සහ සේවය අතහැර යෑමේ ප්‍රවණතාව සැලකිය යුතු ලෙස වර්ධනය වී ඇති බව විගණන අංශ නිරීක්ෂණය කර ඇත. මෙම තත්ත්වය හේතුවෙන් වෛද්‍යවරුන්ගෙන් රජයට අය විය යුතු හිඟ මුදල් ප්‍රමාණය ඉහළ යෑමේ අවදානමක් පවතින බවද ජාතික විගණන කාර්යාලය වැඩිදුරටත් පෙන්වා දෙයි.