car-awards-ceremony-suspended-due-to-protest-by-convicted-athlete

අද (16) පස්වරුවේ බොරලැස්ගමුවේදී පැවැත්වීමට නියමිත එස්.එල්.ඒ.ඩී.ඒ. (SLADA) මෝටර් රථ ශූරතාවලියේ Ford Laser/Mazda 1300cc ඉසව්වේ ජය සංකේත ප්‍රදානය අත්හිටුවීමට ක්‍රීඩා අමාත්‍යාංශය තීරණය කර ඇති බව වාර්තා වේ.

තරග නීති උල්ලංඝනය කළේ යැයි වරදකරු වූ ක්‍රීඩකයෙකු විසින් ඉදිරිපත් කරන ලද විරෝධතාවක් මේ සඳහා හේතු වී තිබේ.




ක්‍රීඩා අමාත්‍යාංශයේ නිලධාරියෙකු කිසිදු පරීක්ෂණයකින් තොරව මෙම ජය සංකේත ප්‍රදානෝත්සවය අත්හිටුවන ලෙස සංවිධායකයන්ට දැනුම් දුන් බව ක්‍රීඩකයෝ පෙන්වා දෙති. මෙම හදිසි තීරණය ශ්‍රී ලංකාවේ මෝටර් රථ ක්‍රීඩාවට බරපතල හානියක් බව ද ඔවුහු අවධාරණය කරති.

මෙම තත්ත්වය හේතුවෙන්, අදාළ ඉසව්වට හා ජය සංකේත ප්‍රදානෝත්සවය සඳහා වැය කළ ලක්ෂ ගණනක මුදලක් දැඩි අවදානමකට ලක්ව ඇති බව ක්‍රීඩකයෝ පවසති. මෙවැනි තීරණ ගැනීමට පෙර පැමිණිල්ලේ සත්‍යතාව පිළිබඳව බලධාරීන් නිසි පරීක්ෂණයක් පැවැත්විය යුතු බව ද ඔවුහු වැඩිදුරටත් කියා සිටිති.




මෙම විරෝධතාවයට පාදක වූ සිදුවීම පසුගිය නොවැම්බර් මස 23 වැනි දින පැවති SLADA RACING තරගාවලියේදී සිදුවිය. අදාළ ක්‍රීඩකයාගේ මෝටර් රථය සම්බන්ධයෙන් සැකයක් මතුවීමෙන් පසු තවත් ක්‍රීඩකයෙකු විසින් පැමිණිල්ලක් ඉදිරිපත් කරන ලදි. සංවිධායකවරුන් විසින් සිදු කරන ලද පරීක්ෂණයකින් අනතුරුව, රථයේ තරග නීති රෙගුලාසිවලට පටහැනි අමතර කොටසක් හඳුනාගෙන, ඔහුගේ අවසන් තරගයෙන් ලකුණු කපා හැරීමට කටයුතු කර ඇති බව ක්‍රීඩකයෝ සඳහන් කරති.

ලකුණු අඩු කිරීමට පෙර ඔහු අවසන් තරගයේ පළමු ස්ථානයේ පසුවූ බවත්, ලකුණු 10ක් අඩු කිරීමෙන් පසු දෙවැනි ස්ථානයට පත්වීමට සිදුවූ බවත් ක්‍රීඩකයෝ පෙන්වා දෙති. එම තත්ත්වය හේතුවෙන් අදාළ ක්‍රීඩකයා මෙම විරෝධතාවය ගොනු කර ඇති බව ද ඔවුහු වැඩිදුරටත් පැහැදිලි කරති.