parents-of-6-children-protest-in-front-of-isurupaya-demanding-immediate-implementation-of-the-module

දෙදහස් විසිහය වසරේ හය ශ්‍රේණියට ඇතුළත් වන දරුවන්ගේ අධ්‍යාපන කටයුතු වෙනුවෙන් යෝජිත නව අධ්‍යාපන මොඩියුලය වහාම ක්‍රියාත්මක කරන ලෙස බලකරමින් අදාළ සිසුන්ගේ දෙමාපියන් විසින් ඉසුරුපාය අධ්‍යාපන අමාත්‍යාංශය ඉදිරිපිට නිහඬ විරෝධතාවක නිරත විය. වසර දහසයක් පමණ පැරණි සාම්ප්‍රදායික අධ්‍යාපන ක්‍රමවේදය වෙනුවට වර්තමාන ලෝකයට ගැළපෙන අධ්‍යාපන ප්‍රතිසංස්කරණ සිදුකිරීම අත්‍යාවශ්‍ය කරුණක් බව පෙන්වා දුන් දෙමාපියන්, නව මොඩියුලය ක්‍රියාත්මක කිරීමේ අවශ්‍යතාව අවධාරණය කරමින් පෙත්සමක් අත්සන් කිරීමට ද පියවර ගෙන තිබුණි.

මෙම ඉල්ලීම සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම සඳහා දෙමාපිය නියෝජිත පිරිසක් අධ්‍යාපන අමාත්‍යාංශය වෙත ද ඇතුළත් විය.




වෛද්‍යවරුන්, නීතිඥයන්, ගුරුවරුන් සහ විදුහල්පතිවරුන් ඇතුළු විවිධ වෘත්තීන් නියෝජනය කරන දෙමාපියන් මෙම විරෝධතාවයට එක්ව සිටි අතර ඔවුන් කියා සිටියේ මෙය දරුවන්ගේ අනාගතය වෙනුවෙන් පෙනී සිටින අවස්ථාවක් මිස දේශපාලනික කාරණයක් නොවන බවයි. රජය විසින් පසුගිය අගෝස්තු මාසයේ සිට ගුරුවරුන් පුහුණු කර ඇති බවත්, 2025 දෙසැම්බර් මාසයේදී දෙමාපිය රැස්වීම් පවත්වා මෙම නව ක්‍රමවේදය පිළිබඳව දැනුවත් කර ඇති බවත් ඔවුහු පෙන්වා දෙති. ඉගෙනීමට කම්මැලි දරුවෙකුට වුවද ඉතා ආශාවෙන් අධ්‍යාපනය ලැබිය හැකි පරිදි ආකර්ෂණීය ලෙස මෙම මොඩියුල සකස් කර ඇති අතර එමගින් දරුවන්ගේ පාසල් බෑගයේ බර ද සැහැල්ලු වන බව දෙමාපියන් සඳහන් කරයි.

ඉංග්‍රීසි විෂය මොඩියුලයේ 51 වන පිටුවේ පවතින දෝෂයක් වැනි කරුණක් මුල් කරගෙන සමස්ත අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ක්‍රියාවලියම ආපස්සට හැරවීම අනුමත කළ නොහැකි බව විරෝධතාකරුවන්ගේ අදහසයි. ගණිතය වැනි විෂයන් අසමත්ව පාසල් පද්ධතියෙන් දරුවන් ගිලිහී යාම වැළැක්වීමට මෙම නව ක්‍රමය ඉවහල් වන බව දුෂ්කර ප්‍රදේශවල සේවය කරන ගුරුවරුන් පවා පෙන්වා දී තිබේ. යම් යම් අඩුපාඩු පවතී නම් ඒවා නිවැරදි කර ගනිමින් 2026 වසරේ සිට මෙම වැඩපිළිවෙළ ආරම්භ කළ යුතු බවත්, කිහිප දෙනෙකුගේ අභිප්‍රායන් මත දරුවන්ගේ ජීවිත සමඟ සෙල්ලම් නොකළ යුතු බවත් ඔවුහු අවධාරණය කරති.




මෙරට හය ශ්‍රේණියට ඇතුළත් වීමට අපේක්ෂිත දරුවන් ලක්ෂ දෙකකට අධික පිරිසකගේ අනාගතය අඳුරු නොකරන ලෙසත්, අතට පත්කර ඇති පොත් නැවත හරවා යැවීමක් සිදු නොකරන ලෙසත් දෙමාපිය එකමුතුව ඉල්ලා සිටියි. හුදෙක් ගිරා පෝතකයන් බිහි කරන ක්‍රමවේදය වෙනුවට දරුවන්ට සිතීමට ඉඩ දෙන මෙම නව අධ්‍යාපන ක්‍රමය ලබා දෙන ලෙස ජනාධිපතිවරයාගෙන් සහ අධ්‍යාපන ඇමතිවරියගෙන් දෙමාපියන් දැඩිව ඉල්ලා සිටියි.

news-2026-01-16-084927

news-2026-01-16-084927

news-2026-01-16-084927

news-2026-01-16-084927

news-2026-01-16-084927

news-2026-01-16-084927

news-2026-01-16-084927

news-2026-01-16-084927