කොම්පඤ්ඤවීදිය ප්‍රදේශයේ පිහිටි රාත්‍රී සමාජ ශාලාවක හිමිකරුවෙකු ඉලක්ක කර ගනිමින් ඝාතනයක් සිදු කිරීමට සැලසුම් කර තිබූ බව කියන වෙඩික්කරුවෙකු සහ ඔහුට සහාය වූ තවත් පුද්ගලයෙකු ග්‍රෑන්ඩ්පාස් පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන තිබේ. මෙම වෙඩික්කරු මීට පෙර ජාතික ලොතරැයි මණ්ඩලයේ හිටපු සභාපති තුසිත හල්ඔලුව මහතාගේ වාහනයට පැන බොරු කලබලයක් කර නාරාහේන්පිටදී ව්‍යාජ ලෙස වෙඩි තැබීමේ කුලී කොන්ත්‍රාත්තුවට සම්බන්ධව අත්අඩංගුවට පත්ව, අධිකරණය මගින් ඇප මත මුදා හැර සිටි අයෙකු බව පොලිසිය අනාවරණය කරගෙන ඇත.
සැකකරුවන් අත්අඩංගුවට ගන්නා අවස්ථාවේදී ඔවුන් සතුව අයිස් මත්ද්‍රව්‍ය මිලිග්‍රෑම් 25,650ක් සහ ව්‍යාජ අංක තහඩු යෙදූ යතුරුපැදි දෙකක් තිබී පොලිස් භාරයට ගෙන තිබේ.ග්‍රෑන්ඩ්පාස් පොලිසියේ අපරාධ විමර්ශන අංශයේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක නිශ්ශංක විජේරත්න මහතා ඇතුළු කණ්ඩායම තොටළඟ වික්ටෝරියා පාලම අසල රාජකාරියේ නිරතව සිටියදී සැකකටයුතු යතුරුපැදියක් පරීක්ෂා කිරීමේදී මෙම ජාවාරම හෙළි වී ඇත. එම යතුරුපැදියේ අංක තහඩු ව්‍යාජ ලෙස සකස් කර ඇති බව නිරීක්ෂණය වීමෙන් පසු සිදු කළ පරීක්ෂාවේදී සැකකරු සතුව අයිස් මත්ද්‍රව්‍ය මිලිග්‍රෑම් 12,450ක් සොයා ගැනීමට නිලධාරීන්ට හැකි විය.
අත්අඩංගුවට ගත් වෙඩික්කරුගෙන් පොලිසිය විසින් සිදු කළ ප්‍රශ්න කිරීම්වලදී හෙළි වූ තොරතුරු මත, තවත් අපරාධයකට සූදානමින් වික්ටෝරියා පාලම යට රැඳී සිටි අනෙක් පුද්ගලයාද කොටු කර ගැනීමට හැකි වී තිබේ. දෙවන සැකකරු සන්තකයේ තිබී අයිස් මත්ද්‍රව්‍ය මිලිග්‍රෑම් 13,200ක් සොයාගෙන ඇති අතර, ඔහු පැමිණි යතුරුපැදියේ එන්ජින් අංක සම්පූර්ණයෙන්ම මකා දමා තිබූ බව පොලිසිය පවසයි.
පසුගිය 18 වන දින අදාළ රාත්‍රී සමාජ ශාලා හිමිකරු ඝාතනය කිරීමට උත්සාහ කළද එය අසාර්ථක වූ බවත්, එම නිසා වෙඩි තැබීමට ගෙන ආ ගිනි අවිය යතුරුපැදියකින් පැමිණි නාඳුනන පුද්ගලයන් දෙදෙනෙකු විසින් නැවත රැගෙන ගිය බවත් ප්‍රධාන සැකකරු පාපොච්චාරණය කර ඇත. මොහු භාවිතා කළ ස්කූටර් වර්ගයේ යතුරුපැදියට සවිකර තිබූ අංක තහඩුව කුරුණෑගල, ඔරලුවැව ප්‍රදේශයේ ලියාපදිංචි යතුරුපැදියක අංකයක් බව මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව හරහා තහවුරු කරගෙන තිබේ.
මෙම සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් වෙඩික්කරු උස්වැටකෙයියාව ප්‍රදේශයේ පදිංචි 31 හැවිරිදි අයෙකු වන අතර, ඔහුට සහාය වූ අනෙක් සැකකරු මරදන්කඩවල ප්‍රදේශයේ පදිංචිකරුවෙකි. සිද්ධිය සම්බන්ධයෙන් සහ අදාළ යතුරුපැදි පිළිබඳව ග්‍රෑන්ඩ්පාස් පොලිසිය විසින් වැඩිදුර විමර්ශන සිදු කරනු ලබයි.
