2026 වසරේ ඉන්දියාව සහ ශ්‍රී ලංකාව සම-සත්කාරකත්වය දරන අයි.සී.සී. (ICC) පන්දුවාර විස්සයි-20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ නිල කුසලාන චාරිකාව ආරම්භ කිරීම ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ පස්වරුවේ ජනාධිපති කාර්යාලයේදී සිදු විය.
දිවයින පුරා මෙම කුසලානය ප්‍රදර්ශනය කිරීම ඊයේ (21) දින සිට ලබන 24 වනදා දක්වා දින හතරක් පුරා ක්‍රියාත්මක වන අතර, කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේ පැවැත්වෙන ශ්‍රී ලංකා - එංගලන්ත එක්දින තරගය අතරතුරදී එය දැක බලා ගැනීමට ක්‍රීඩා ලෝලීන්ට අවස්ථාව සලසා දී තිබේ. ඉන් අනතුරුව මහනුවර, දඹුල්ල සහ යාපනය යන නගරවලදී ද කුසලානය ප්‍රදර්ශනය කෙරෙන බැවින් එම ප්‍රදේශවල ජනතාවට කුසලානය සමඟ සමරු ඡායාරූප ලබා ගැනීමේ අවස්ථාව හිමි වනු ඇත.
පෙබරවාරි මස 07 වනදා සිට මාර්තු 08 වනදා දක්වා පැවැත්වීමට නියමිත මෙම තරගාවලිය, 2012 වසරෙන් පසුව ශ්‍රී ලංකාව සත්කාරකත්වය දරන දැවැන්තම ජාත්‍යන්තර ක්‍රිකට් තරගාවලිය ලෙස ඉතිහාසයට එක් වේ.
ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය මගින් පසුගිය වසරේ එළිදක්වන ලද තරග කාලසටහනට අනුව ශ්‍රී ලංකාවේ තරග පැවැත්වීම සඳහා කොළඹ ආර්. ප්‍රේමදාස, පල්ලේකැලේ ජාත්‍යන්තර ක්‍රීඩාංගණය සහ කොළඹ එස්.එස්.සී. යන ක්‍රීඩාංගණ තෝරාගෙන තිබේ. ඒ අනුව ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේ තරග 08ක් ද, පල්ලේකැලේ ක්‍රීඩාංගණයේ තරග 07ක් ද, එස්.එස්.සී. ක්‍රීඩාංගණයේ තරග 05ක් ද වශයෙන් තරග පැවැත්වීමට කටයුතු යොදා ඇත.
රටවල් 20ක සහභාගීත්වයෙන් පැවැත්වෙන මෙවර ලෝක කුසලාන තරගාවලියේ තරග 20කට ශ්‍රී ලංකාව සත්කාරකත්වය ලබා දෙන අතර, පාකිස්තාන කණ්ඩායම සහභාගී වන සියලු තරග ශ්‍රී ලංකාවේදී පැවැත්වීම විශේෂ කරුණකි. යම් හෙයකින් පාකිස්තානය අවසන් පූර්ව හෝ අවසන් මහා තරගයට සුදුසුකම් ලැබුවහොත් එම තරගවල සත්කාරකත්වය ද ශ්‍රී ලංකාවට හිමි වන අතර, එවිට අවසන් මහා තරගය ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේදී පැවැත්වීමත් සමඟ ශ්‍රී ලංකාවේ පැවැත්වෙන මුළු තරග සංඛ්‍යාව 22 දක්වා ඉහළ යනු ඇත.
මෙවර තරගාවලිය සඳහා ටෙස්ට් වරම් ලත් ප්‍රධාන රටවල්වලට අමතරව ඇමරිකා එක්සත් ජනපදය, කැනඩාව, ඉතාලිය, නෙදර්ලන්තය, නැමීබියාව, නේපාලය, ඕමානය සහ එක්සත් අරාබි එමීර් රාජ්‍යය යන රටවල් ද සුදුසුකම් ලබා සිටී.
විදේශීය ක්‍රීඩකයින්, මාධ්‍යවේදීන් සහ විශාල පිරිසක් වන විදෙස් ප්‍රේක්ෂකයින් තරගාවලිය නැරඹීමට පැමිණීම හේතුවෙන් රටේ සංචාරක කර්මාන්තයේ විශාල පිබිදීමක් සහ විදේශ විනිමය ආදායමේ ඉහළ යෑමක් අපේක්ෂා කෙරේ. එමෙන්ම හෝටල්, ප්‍රවාහන සහ තාක්ෂණික සේවා ඇතුළු ක්ෂේත්‍ර රැසක නව රැකියා අවස්ථා නිර්මාණය වීම සහ ක්‍රීඩා සංචාරක ගමනාන්තයක් ලෙස ශ්‍රී ලංකාවේ කීර්තිනාමය ලොව පුරා ප්‍රචලිත වීම ද මෙම සත්කාරකත්වය හරහා ලැබෙන ප්‍රතිලාභයන් වේ.
කුසලාන එළිදැක්වීමේ මෙම විශේෂ අවස්ථාවට තරුණ කටයුතු සහ ක්‍රීඩා අමාත්‍ය සුනිල් ගමගේ, ක්‍රීඩා නියෝජ්‍ය අමාත්‍ය සුගත් තිලකරත්න, ක්‍රීඩා අධ්‍යක්ෂ ජනරාල් එස්. අච්චුදන්, ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සභාපති ශම්මි සිල්වා, විස්සයි-20 කණ්ඩායම් නායක දසුන් ශානක සහ ප්‍රධාන පුහුණුකරු සනත් ජයසූරිය යන මහත්වරු ඇතුළු පිරිසක් සහභාගී වී සිටියහ.
