a-group-of-slpp-and-sjb-mps-on-a-visit-to-india

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතාගේ නායකත්වයෙන් යුත් පොදුජන පෙරමුණේ සහ සමගි ජන බලවේගයේ මන්ත්‍රී කණ්ඩායමක් ඉන්දියාවේ ඔඩිෂා ප්‍රාන්තයේ පෞද්ගලික සංචාරයක නිරත වීමට නියමිතව තිබේ. ඉන්දියාවේ පෞද්ගලික විශ්වවිද්‍යාලයකින් ලැබුණු ආරාධනාවක් මත ජනවාරි 26 වැනි දිනට යෙදෙන ඉන්දීය ජනරජ දින සැමරුම් උත්සව සඳහා සහභාගී වීම මෙම සංචාරයේ මූලික අරමුණයි.




මෙම නියෝජිත පිරිසට සමගි ජන බලවේගය නියෝජනය කරමින් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන චිත්‍රාල් ප්‍රනාන්දු, චමින්ද්‍රාණි කිරිඇල්ල, චතුර ගලප්පත්ති සහ ප්‍රසාද් සිරිවර්ධන යන මහත්ම මහත්මීන් ඇතුළත් වන අතර, ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ නියෝජනය කරමින් හිටපු මන්ත්‍රීවරුන් වන ඉන්දික අනුරුද්ධ, සංජීව එදිරිමාන්න, සම්පත් අතුකෝරල සහ දේශපාලන මණ්ඩල සභික මිලින්ද රාජපක්ෂ යන මහත්වරුන් ද එක්වීමට නියමිත බව වාර්තා වේ.

සංචාරයේ තවත් වැදගත් අංගයක් ලෙස ලොව ප්‍රමුඛතම ආපදා කළමනාකරණ ආයතනයක් ලෙස පිළිගැනෙන ඔඩිෂා ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ නිරීක්ෂණ චාරිකාවක නිරත වීමට ද මෙම පිරිස බලාපොරොත්තු වේ. ඊට අමතරව, අශෝක අධිරාජ්‍යයාගේ පාලන සමයට අයත් ඉපැරණි බෞද්ධ පුරාවිද්‍යාත්මක ස්ථාන නැරඹීමට ද ඔවුන් සැලසුම් කර ඇත.




මෙම සංචාරය පිළිබඳව පූර්ව සාකච්ඡාවක් පසුගියදා කොළඹ පිහිටි ඉන්දීය මහ කොමසාරිස්වරයාගේ නිල නිවසේදී පැවැත්විණි. එහිදී ශ්‍රී ලංකාවේ ඉන්දීය මහ කොමසාරිස් සන්තෝෂ් ජා මහතා සහ අදාළ ශ්‍රී ලාංකික දූත පිරිස අතර ඉතා සුහදශීලී හමුවක් සිදුවූ බව දේශපාලන ආරංචි මාර්ග සඳහන් කරයි.

a-group-of-slpp-and-sjb-mps-on-a-visit-to-india

a-group-of-slpp-and-sjb-mps-on-a-visit-to-india

a-group-of-slpp-and-sjb-mps-on-a-visit-to-india